නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම

ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය
බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ …
 ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට …
 සහල් සහ එළවළු දිවයින පුරා බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක් …
 මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව …
 ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සමූපකාර හා සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව …
 රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් …
 සෑම ප්‍රාදේශීකයකටම පැය 24 ම විවෘත ඉන්ධන හලක් ..
 වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට …
රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සමස්ථ ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතුය. ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍යතාවකි. ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ.
අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතී. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඒවා ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකිය. ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා ගැනේ.
රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමට තීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක කර ගැනේ.

පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද සාකච්ඡා කෙරිණ.
වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය.
දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.
සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.
බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ. මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇත. උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
වගා සහ ධීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණ.
එළවළු මෙන්ම වී, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපී, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.
චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආටිගල යන මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ විවාදය

මාධ්‍ය නිවේදනය

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ විවාදය

(2019 ජුලි 26 වෙනි සිකුරාදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින්
පාර්ලිමේන්තුවේදී කළ කතාවේ පිටපත.)

ගරු කථානායකතුමනි,

ඊළඟ ජනාධිපතිවරණය පවත්වන්න තව තියෙන්නෙ මාස කීපයයි. ආණ්ඩුවේ අවසාන කාලයේදී මේ විදියට ව්‍යවස්ථා සංශෝධන ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමෙන් පලක් තියෙනවද? ව්‍යවස්ථා සංශෝධනය කරන්න මුලපුරන්න ඕනෙ ආණ්ඩුවක් ආපු අලුත මිස, යන්න ඉස්සෙල්ල කරන අවසන් කටයුත්ත හැටියට නොවෙයි. මේ ආණ්ඩුව බලයට පත්වුණෙත් පළමු දින 100 ඇතුළත ව්‍යවස්ථාව සංශෝධනය කරනවයි කියලා. ඒ කාලේ ඒගොල්ලො කතා කලේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි ගැන විතරයි.

ඔබ කවුරුත් දන්නවා 2015 ජනාධීපතිවරණයේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව කියලා තිබුණා අපිට ආණ්ඩු බලය නැවතත් ලැබුණ නම් අපි ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඒ සංශෝධන වලට ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතියත් ගන්නවයි කියලා. නමුත් යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණෙ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන තරමට පමණක් ව්‍යවස්ථාව වෙනස් කරනවයි කියලා. ජනමත විචාරණයක් තියෙන එකේ ප්‍රශ්නෙ මොකක්ද? ඒකෙන් කරන්නෙ ජනතාව ඉදිරියට යෑමක්. ව්‍යවස්ථා වෙනසකට ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබා ගැනීම හොද දෙයක්. ඒකයි අපි කිවුවෙ අපි නම් ජනමත විචාරණයක් පවත්වනවයි කියලා.

ජනමත විචාරණයක් පවත්වන්නෙ නැතුව කරන්න පුලුවන් ව්‍යවස්ථා සංශෝධන විතරක් කරනවයි කියලා යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිවුවෙ, බලයට ආවට පස්සෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර ඉන්න. ජනමත විචාරණයක් පවත්වන්නෙ නැතුව ඒ වගේ මූලික වෙනසක් අපේ ව්‍යවස්ථාවේ කරන්න බැරි බව ඒ ගොල්ලො දන්නවා. ඡන්ද ව්‍යාපාරයේදී බිම පෙරළි පෙරළි කිවුවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාමයි කියලා. නමුත් බලයට ආවට පස්සෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙන්නලා කිවුවා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන සංශෝධන විතරක් කරනවයි කියපු හින්දා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ කියලා. ඉතින්, මුල ඉඳලම මේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ තිබ්බෙ බොරුවයි වංචාවයි විතරයි.

ඊට පස්සෙ විධායක ජනාධිපතියි අගමැතියි අතර බලය තියෙන්නෙ කාටද කියලා හොයාගන්න බැරි 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ ගැන විපක්‍ෂයෙන් මැසිවිලි නැඟුවාම ජනාධිපතිතුමාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිවුවා තව සති ගාණක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න 20 වන සංශෝධනය හඳුන්වලා දෙනවයි කියලා. ඒ පොරොන්දුව මත තමයි විපක්‍ෂයේ මන්ත්‍රීවරු 19 වන සංශෝධනයට ඡන්දෙ දුන්නෙ. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කළා නම් පැහැදිළි බහුතරයක් තියෙන පාර්ලිමේන්තු ආණ්ඩු බිහිවෙනවා. එතකොට බල තුළනය පාර්ලිමේන්තුව පැත්තට බර වෙනවා. 19 වන සංශෝධනය ගැන අපිට බරපතල සැක තිබුණත් එදා අපේ අය ඒකට අත ඉස්සුවේ 20 වන සංශෝධනය ගේනවයි කියපු පොරාන්දුව නිසා විතරයි. ඉතින් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටත් මේ ආණ්ඩුව වංචා කරලා තියෙනවා.

ඊට පස්සෙ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවයි කියලා 2016 මාර්තු 09 වෙනිදා මුලු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් හැටියට වාඩිවෙන්න ආණ්ඩුව කටයුතු යෙදුවා. අවුරුදු දෙක හමාරකට වැඩි කාලයක් තිස්සෙ කතා කරලා වාර්තා පිට වාර්තා නිකුත් කරලා අන්තිමේදී 2019 ජනවාරි 11 වෙනිදා අගමැතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ විශේෂඥ මණ්ඩලයේ වාර්තාවක් කියලා ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒක ඉදිරිපත් කරමින්ම අගමැතිතුමා කිවුවෙ මේක එතුමාගේ වර්තාවක් නෙවෙයි විශේෂඥයන් පිරිසකගෙ අදහස් විතරයි කියලා. අන්තිමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ ලියවිල්ලටත් අයිතිකාරයෙක් නැති වුණා. තමන්ම ඉදිරිපත් කරන කෙටුම්පතකටවත් වගකීමක් ගන්නෙ නැතුව කොහොමද ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නෙ?

අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ ව්‍යවස්ථා කෙටුම්පතට අපි එකහෙළාම විරුද්ධයි. ඒකෙන් අර්ධ ස්වාධීන ප්‍රාන්ත රාජ්‍ය 09කට රට කඩන්න පිඹුරුපත් සකස් කරලා තිබුණා. පලාත් 09 යට වෙන වෙනම පොලීසි පිහිටුවන්න, පලාත් වලට දීලා තියෙන බලතල ආපසු කිසිදාක මධ්‍යම ආණ්ඩුවට නැවත පවර ගන්න බැරි විදියට විධිවිධාන ඒකෙ තිබුණා. කට්ටියක් කියනවා මමත් ඒ කාලේ තර්ටීන් ප්ලස් කියලා 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන පාලන ක්‍රමයක් ගැන කතා කරයි කියලා. මම එක දවසක් ඉන්දියාවේ විදේශ ලේකම් වරයාට කිවුවා රටේ පළාත් සභාවල නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් හදලා ප්‍රාදේශීය නායකයෝ ජාතික මට්ටමේ වැඩවලටත් සහභාගී කරවගන්න ඕනෙයි කියලා. ඉන්දියාවේ විදේශ ලේකම්තුමා තමයි ඒකට තර්ටීන් ප්ලස් කියලා නම තිබ්බෙ. ඉතින් හොදට මතක තියාගන්න ඕන මම තර්ටීන් ප්ලස් කියලා අදහස් කළේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට හඳුන්වලා දීපු කෙටුම් පතෙන් වගේ රට කෑලි 09 කට කඩන ව්‍යාපෘතියකට නෙවෙයි කියලා.

අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ ව්‍යවස්ථා කෙටුම්පතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නත් විධිවිධාන තිබුණු බව ඇත්ත. නමුත් ඒ කෙටුම්පතෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කරලා තිබුණෙ 2017 පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරපු ආකෘතියට අනුවයි. ඔබ දන්නවා ඒ ආකෘතිය 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේදී අත්හදා බැලුවයින් පස්සෙ මුලින් ඒක සම්මත කරන්න කටයුතු කරපු අයම දැන් ඒ ක්‍රමයට විරුද්ධයි. ඒ අසාර්ථක ආකෘතියම පාර්ලිමේන්තුවටත් හඳුන්වලා දෙන්න හදන එකට අපි එකහෙළාම විරුද්ධයි.

අගමැතිවරයා 2019 ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ ව්‍යවස්ථා කෙටුම්පත හැදුවෙ සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ රාජ්‍ය නොවන සංවිධාන වල පිරිසක්. අවුරුදු දෙක හමාරක් තිස්සෙ හදපු ඒ කෙටුම්පත අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පුන පුනා කිවුවෙ මේක අපේ දෙයක් නම් නෙවෙයි කියලා. අවසානෙදි බලන කොට මේ ආණ්ඩුවෙන් දෙමළ ජාතික සංධානයත් ගොනාට අන්දලා තියෙනවා.

දෙමළ ජාතික සංධානය අවුරුදු හතර හමාරක් තිස්සෙ නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හැම වෙලාවෙම කෙටුම්පත් හදන්නෙ වෙනම රාජ්‍යයක් කියන වචනය නැතුව වෙනම රාජ්‍යයක් ලබා ගන්න. කොල කෑලි වල ඒගොල්ලන්ගෙ සැලසුම් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. නමුත් බිම් මට්ටමෙන් ගත්තාම අපේ ආණ්ඩුව උතුරු නැගෙනහිර පළාත් වලට දීපු පළාත් සභා දෙකත් නැතිකරලා දාන්න දෙමළ ජාතික සංධානය ඍජුවම කටයුතු කරලා තියෙනවා. නැගෙනහිර පළාත් සභාව විසිරෙව්වෙ මීට අවුරුදු දෙකකට විතර කළින්. උතුරු පළාත් සභාව අවුරුද්දකට විතර කළීන් විසිරෙව්වා. විසුරවපු පළාත් සභා වලට ඡන්ද පවත්වන්න බැරිවෙලා තියෙන්නෙ 2017 සැප්තැම්බර් මාසයේදී මේ ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරපු නිසයි.

අලුත් ක්‍රමයට ඡන්ද තියන්න කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ වාර්ථාව ගැන මතභේද මතුවෙලා තියෙන නිසා අද මුලු පළාත් සභා ක්‍රමයම අකර්මණ්‍ය වෙලා තියෙනවා. දෙමළ ජාතික සංධානයේ ඡන්ද නැතුව කිසිම දවසක පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන්දෙකේ බලය ආණ්ඩුවට ලබාගන්න වෙන්නෙ නෑ. ඉතින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් කියලා ඇති කරපු පළාත් සභා ක්‍රමය අවසානයේදී බලන කොට නැති කරලා දාන්න කටයුතු කරලා තියෙන්නෙත් දෙමළ ජාතික සංධානයමයි.

මම නැගෙනහිර පළාතේ යුද්ධය අවසන් වෙන්නත් කළින් 2008 දී පළාත් සභාවක් පිහිටුවලා ඒ පළාතේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දුන්නා. 2013 දී උතුරු පළාත් සභා ඡන්දය පවත්වලා පළමු වතාවට උතුරටත් පළාත් සභාවක් ලබලා දුන්නා. දෙමළ ජාතික සංධානය එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක එකතු වෙලා ඒ දෙකම නැති කළා.

ඔබ කවුරුත් දන්නවා යුද්ධය ඉවර වුණායින් පස්සේ අපේ ආණ්ඩුවෙන් උතුරු පළාතෙත්, නැගෙනහිර පළාතෙත් යටිතල පහුසුකම් දියුණු කරලා මිනිසුන්ගේ ජීවනෝපාය දියුණු කරන්න කටයුතු කළා. ඒ අතරතුර තමයි ආණ්ඩුව වෙනස් වුණේ. පහුගිය අවුරුදු ගණනාවම තිස්සෙ දෙමළ ජාතික සංධානය හිටියේ ආණ්ඩුවත් එක්ක. හැබැයි උතුරු නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම දෙමළ ජනතාවට මේ කාලය ඇතුළත කිසිම ඉදිරි ගමනක් සිදු වෙලා නෑ. මේ ආණ්ඩුව ආවට පස්සෙ රටේ හැම ජන කොටසකටම වගතුවක් නැතුව ගියා. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විශේෂයෙන්ම පාඩු වුනයි කියලා කියන්න පුලුවන්.

අද ඒ පළාත් වල මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. දෙමළ ජනතාව අතර තියෙන ඒ දුගී බාවයෙන් ඇතැම් කූඨ පිරිස් ඉතාමත්ම අසික්කිත ආකාරයට ප්‍රයෝජන ගන්නවයි කියලා දැන් දෙමළ දේශපාලනඥයොත් ප්‍රසිද්ධියේම කියන්න පටන් අරන් තියෙනවා. අපේ ආණ්ඩුවක් බලයේ තිබුණා නම් එහෙම වෙන්නෙ නෑ. එහෙනම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මේවෙනකොට තමන්ගේ ජීවනෝපාය පැත්තෙන් හරි ඔලුව උස්සලා අද ගරුත්වයක් ඇතුව ජීවත්වෙනවා. මීට ටික කාලෙකට කළින් මම දැක්කා එක්තරා පුවතක්. උතුරු නැගෙනහිර පළාතේ දෙමළ තරුණයන් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ අමාරුකම් කිවුවාම ඒ මන්ත්‍රීවරු කියලා තියෙන්නෙ අපි මුලින්ම විමුක්තිය ලබාගෙන ඊට පස්සෙ ජනතාවගේ ප්‍රශ්න විසදනවයි කියලා.

විමුක්තිය කියලා ඒගොල්ලන් අදහස් කරන්නෙ රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා දෙමළ ජනතාවට උතුරු නැගෙනහිර වෙනම පාලන ඒකකයක් ලබාගන්න එකයි. 2014 දී මම ආරාධනය කළා දෙමළ ජාතික සංධානයට දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න හැටියට ඒගොල්ලො දකින දේවල් මොනවද කියලා සාකච්ඡා කරන්න. කිහිප වතාවක් සාකච්ඡා කළාට පස්සෙ දෙමල මන්ත්‍රීවරු සාකච්ඡාවට එන එක නැවැත්තුවා. ඒ වෙන කොට ඒගොල්ලො තීරණය කරලා ඉවරයි අපේ ආණ්ඩුව පරද්දලා පොදු අපේක්‍ෂකයෙකු පත්කරලා ඒගොල්ලන්ගෙ අභිමථාර්තයන් ඉටුකරගන්න. ඔන්න දැන් අල්ලපු අත්තත් නැතුව, පයගහපු අත්තත් නැතුව ඒ කට්ටිය ඉන්නවා.

වර්ථමාන ආණ්ඩුව යටතේ ව්‍යවස්ථා වෙනසක් කරන එක ගැන හිතන්නවත් පුලුවන්ද? මේගොල්ලො 19 වෙනි සංශෝධනය ගෙනාවා. ඒකෙන් රටේ පාලනය අවුල් ජාලාවක් බවට පත්වුණා. පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කළා, ඒකෙන් පළාත් පාලන ක්‍රමයම වියවුලක් බවට පත්වුණා. පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරා. ඒකෙන් පළාත් සභා ක්‍රමයම නැති වුණා. මේගොල්ලන්ගේ පනත් සම්මත කරන ක්‍රමවේදය ගැනත් රටේ මුලු ජනතාවටම සැකයක් තියෙනවා. පළාත් පාලන හා පළාත් සභා ඡන්ද ක්‍රම වෙනස් කරන්න මේ ගොල්ලො යෝජනා ගෙනාවේ සම්පූර්ණයෙන්ම වෙනස් හේතු වලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් දෙකකට පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී ගේන යෝජනා හැටියට.

ඒ ගේන යෝජනා මොනවද කියලා ජනතාව දැනගෙන හිටියෙත් නෑ, ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවායේ ව්‍යවස්ථානුකූල භාවය ගැන හොයලා බලන්න අවස්ථාව ලැබුනෙත් නෑ. 19 වෙනි සංශෝධනයෙත් කමිටු අවස්ථාවේදී කාටවත් නොදැනෙන විදියට පනත් කෙටුම්පතේ තිබුණු වචන, වාක්‍ය ඉවත් කරා. ඕවායින් ඇතිවෙලා තියෙන අවිශ්වාසය නිසා තමයි විපක්‍ෂයක් හැටියට අපිට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මේ ආන්ඩුවට සහයෝගය දෙන්න බැරි. ඒ වගේම ආණ්ඩුවේ අවසාන අවස්ථාවේදී ව්‍යස්ථා සංශෝධනය ගැන කථාකරලා වැඩක් නෑ. ඒ වැඩේට අතගහන්න ඕන ජනතා වරමකින් අලුතින් පත්වන ආණ්ඩුවක්.

අපි ළඟ එන ජනාධිපතිවරණයේදී පවතින ව්‍යවස්ථාව සංශෝනය කරන්න යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. 19 වෙනි සංශෝධනයෙන් ඇති කරපු වියවුල ලිහන්නෙ නැතුව මේ රටට ඉදිරියට යන්න බෑ. ඊළඟ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා ඒ අලුත් ව්‍යවස්ථාව සඳහා ඒ වෙනකොට පාර්ලිමේනතුවේ නියෝජනය තියෙන සියලුම දේශපාලන පක්‍ෂ වල සහයෝගය ලබාගන්න. අවංකවම ව්‍යවස්ථා වෙනසක් බලාපොරොත්තු වෙන හැමෝටම අපිත් එක්ක ඒ අවස්ථාවේදී එක් වෙන්න පුලුවන්. ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන තරමට විතරයි කියලා අපි කූඨ උපක්‍රම වලින් ජනතාව රවට්ටන්නෙ නෑ. අපි අලුත් ව්‍යවස්ථාව සඳහා අනිවාර්‍යයෙන්ම ජනමත විචාරණයකුත් පවත්වනවා.

ස්තුතියි.

මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක 

2019 ජුලි 26

Sinhala Constitutional Reform

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලනික පසු කම්පන

2019 ජුනි 11
මාධ්‍ය නිවේදනය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලනික පසු කම්පන

(විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා 2019 ජුනි මස 11 වෙනි අඟහරුවාදා විජේරාම නිල නිවසේදී කළ දේශනයේ පිටපත.)

අතිපූජනීය මහා සංඝරත්නයෙන් හා සියලුම ආගම්වල පූජකතුමන්ලාගෙන් අවසරයි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි,

පසුගිය අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය මේ රටේ ඉතිහාසයේ කඩ ඉමක්. ඒකත් එක්කම තමන්ගේ ආගමික මතවාදයට එකඟ නොවන ජන කොටස් ඝාතනය කරන ත්‍රස්තවාදයක් ගැන දැඩි තැතිගැන්මක් මුලු ලංකාව පුරාම පැතිර ගියා. රටේ ආරිථික ක්‍රියාකාරකමුත් අඩාල වුණා. දැන් අයෙමත් යුද්ද කාලෙ වගේ දෙමවුපියො පාසල් මුරකරනව. යුද්ද කාලෙදීවත් නොතිබුණ විදියට අද අපිට ආගම අදහන්න වෙලා තියෙන්නෙත් ආරක්‍ෂාව යටතෙ. වෙසක්, පොසොන්, වෙනද වගේ සමරන්න බෑ, පල්ලි පන්සල් වලට බැතිමතුන් ඇතුල් කරගන්නෙ සෝදිසි කරලා.

මේ වෙනකොට ලංකාවේ මුස්ලිම් ප්‍රජාව හා වෙනත් ආගම් අදහන ජනතාව අතර තියෙන්නෙ විශාල අන්‍යෝන්‍ය අවිශ්වාසයක්. කුරුණෑගල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අන්තවාදී ආගමික මතවාදය නිසා මුස්ලිම් නොවන මව්වරුන් වඳ භාවයට පත්කරාය යන චෝදනාව නිසා මේ අවිශ්වාසය ඉතාම භයානක මානයකට යමින් තියෙනවා. මේ වගේ අවස්ථාවක රටේ නායකයෝ මෙන්ම මුස්ලිම් ප්‍රජාවේ නායකයොත් කටයුතු කරන්න ඕන ඉතාමත්ම වගකීමෙන්.

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සති දෙක තුනකට විතර පස්සෙ, සංවිධානාත්මක පිරිස් රටේ ඇතැම් ප්‍රදේශවල ජාතිවාදී කෝලහාලයක් ඇති කරන්න මුස්ලිම් කඩ සාප්පු වලට පහර දෙනව අපි දැක්කා. නමුත් ඒකට විරුද්ධව නැගී ආපු ජනතා විරෝධය හමුවේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා ඉක්මනින්ම නැවතුණා. සමාජ ජාලා තුළත් ඒ ප්‍රචන්ඩ ක්‍රියාවලට දැඩි විරෝධයක් එල්ල වෙලා තිබුණ. පහුගිය ජනාධිපතිවරණයට කළිනුත් ඔය වගේම සිද්ධීන් 2014 කාලයේදී ඇතිවුණා. 2015 ජනවාරි 9 වෙනිදා බලනකොට ගුටි දීපු අයත් ගුටි කාපු අයත් දෙගොල්ලොම හිටියේ පොදු අපේක්‍ෂකයගේ පැත්තෙ. ඒ වගේම විජ්ජාවක් තමයි මේ පාරත් කරන්න හැදුවෙ, නමුත් ඒ උත්සාහය වැරදුණා.

මේ මොහොතේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම තව මාස කිහිපයකින් පවත්වන්න නියමිත ජනාධිපතිවරණයත් එක්ක කිට්ටුවෙන් බැඳිලා තියෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕන.

වර්තමාන ආණ්ඩුවට ඕන කරන්නෙ 2015 ට කළින් නොයෙක් උප්පරවැට්ටි යොදලා තමන් වටේට සංවිධානය කරගත් මුස්ලිම් ඡන්ද පදනම ඊළඟ ජනාධිපතිවරණයටත් ඒ විදියටම පවත්වගන්න. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ එක් කැබිනට් ඇමතිවරයෙකුට විරුද්ධව ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් තිබුණාය කියන පදනම මත විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. විශ්වාසභංගයක් කියන්නෙ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ප්‍රධානම අංගයක්. ඒක විපක්‍ෂයේ අයිතියක්.

ඒ වගේ විශ්වාසභංගයක් ඉදිරිපත් වුණාම සාමාන්‍යයෙන් වෙන්නෙ ඕන එක්කෝ ඒ විශ්වාසභංගය විවාදයට අරගෙන ඡන්දයක් විමසීමයි. නැත්නම් අදාල ඇමතිවරයා ධූරයෙන් අස්වෙලා චෝදනා වලින් නිදොස් වුණාට පස්සෙ ආපසු තනතුරේ දිවුරුම් දීමයි. ඒ සම්ප්‍රදාය සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ඇමතිවරුන්ට පොදුයි. ඉස්සර කාලේ එම්.ඒ. බාකීර් මාකර්, එම්.එච්. මොහොමඩ් වගේ මුස්ලිම් කතානායකවරුන්ට විරුද්ධව විශ්වාසභංග ඉදිරිපත් වුණාට ඒවා දිහා කවුරුවත් ජාතිවාදී විදියට බැලුවෙ නෑ.

නමුත් මේ පාර එක් මුස්ලිම් ඇමති වරයෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුවාම ආණ්ඩුවේ ඉන්න සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලල අස්වුණා. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවෙයි. යූඑන්පී ආණ්ඩුව මේ අවස්ථාවේදී මුස්ලිම් දේශපාලනඥයෝ පෙල ගස්සගෙන ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද ගෙඩිය පිටින් ලබාගන්න උත්සාහ කරන බවක් මෙයින් පේනවා. ඕවා තමයි මේ ඔක්කොම අස්සෙ සිදුවෙන සෙල්ලම්.

සාමුහිකව ඉල්ලා අස්වීමෙන් විපක්‍ෂයේ විශ්වාස භංගයත් ආණ්ඩුව අහෝසි කර ගත්තා. වෙනත් ප්‍රශ්නත් අමතක කරවගන්නත් ආණ්ඩුව මේවා ඉවහල් කරගන්නවා. දැන් බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා, ඒගොල්ලනුත් අමතකයි. අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නෑ. සෝදිසි කිරීමුත් නැවතිලා, ආයුධ හමුබවෙන්නෙත් නෑ. අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැනත් මුකුත් කතාවක් නෑ. ඇතිවූ මේ උණුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්නත් උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ සීයක් විතර මරලා.

යූඑන්පී එකට ඒ දක්‍ෂතාවය තියෙනවා. තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඒගොල්ලො මේ රටේ මුස්ලිම් ප්‍රජාවත් හොදට ප්‍රයෝජනයට ගන්නවා. යූඑන්පී එකට මධ්‍යස්ථ මුස්ලිම් වගේම අන්තවාදී මුස්ලිම්වරුන්ගෙත් ඡන්ද අවශ්‍යයි. ඡන්ද ලැබෙන්නෙ කාගෙන්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම මුස්ලිම් නායකයන්ට තමන්ට හීලෑ කරගන්න පුලුවන් ආන්ඩුවක් අවශ්‍යයි. නමුත් මේ සුසංයෝගයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අද මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නෑ. මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය වෙන්නේ ආගම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගෙ ජීවිත බේරා ගැනීමටයි. මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවශ්‍ය වෙන්නෙත් තම ප්‍රජාව තුළින් ත්‍රස්තවාදීන් ඉවත් කරගෙන සුපුරුදු දිවි පෙවෙතට නැවත අවතීර්ණ වීමයි.

අද වෙනකොට, අන්‍ය ආගමිකයන් ඝාතනය කරන මිලේච්ඡ ආගම්වාදී ත්‍රස්තවාදයක් බිහි වෙලයි තියෙන්නෙ. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සියලු ජනකොටස් තමන්ගේ ආරක්‍ෂාව සඳහා ඒ ත්‍රස්තවාදයට විරුද්ධව පෙළ ගැසමෙනුයි ඉන්නෙ. මේ වෙලාවේ මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධව ඇතිවෙමින් පවතින ඒ එකතුවෙන් කොන් විය යුතු නෑ. අන්තවාදී අදහස් රට තුළට ආපු නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ක්‍රම ක්‍රමයෙන් සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විහින්ම ඈත් වුණු බව මුස්ලිම් ආගමික නායකයන් වගේම බුද්ධිමතුනුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පස්සෙ ස්වයං විවේචනාත්මකව පිළිගත්තා.

1980 ගණන් වල ඉඳලා වෙනම මුස්ලිම් දේශපාලන පක්‍ෂ බිහිවීම නිසා දේශපාලන ක්‍ෂේත්‍රයෙත් ඔවුන් වෙනම ගමනක් යන්න පටන් ගත්තා. ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඈත් කරන මේ ක්‍රියාදාමයේ කූඨප්‍රාප්තිය තමයි පසුගියදා සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් අපි දැක්කෙ. ඉල්ලා අස්වෙච්ච ඇමතිවරු විපක්‍ෂ නායකවරයා හැටියට කරුණු දක්වන්න මාව මුණගැහුනාම මම ඒගොල්ලන්ට මේ ගැන අවවාද කළා.

1980 ගණන් වල පළමු වරට වෙනම මුස්ලිම් දේශපාලන පක්‍ෂයක් පටන් ගත්ත මගේ මිත්‍ර එම්.එච්.එම්. අස්රොෆ්, ආගම්වාදී දේශපාලන පක්‍ෂයක් ඇති කරපු එකේ වැරැද්ද තේරුම් අරගෙනයි හිටියේ. ඒ හින්ද තමයි අන්තිම කාලේ ඔහු ‘නැෂනල් යුනිටි එලායන්ස්’ (National Unity Alliance) කියලා සියලුම ජාතීන්ට පොදු දේශපාලන පක්‍ෂයක් හැදුවෙ. නමුත් ඔහුගෙ මරණින් පස්සෙ, ඒ එකතුවීමේ ප්‍රවනතාවය නැවතුණා, විහින් හුදෙකලා වීමේ ප්‍රවනතාවය තවත් තීවුර වුණා.

අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් රඳා පවතින නිසා ඒගොල්ලොන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි. පසුගිය වකවානුව පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන්න දේශපාලන නායකත්වයට බැරි වුණ, බිය වුන නිසයි. මුස්ලිම් දේශපාලනඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.

ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව තුළ අන්තවාදය ප්‍රචලිත වෙන එක අද ඊයෙ එකපාරට සිදුවෙච්ච දෙයක් නොවෙයි. මේක අවුරුදු ගණනාවක් මුලුල්ලෙ වාද විවාද, තර්ජන, ගර්ජන, ගුටි බැට හුවමාරු, පල්ලි ගිනිබත් කිරීම්, ගෙවල් ගිනිබත් කිරීම්, මිනීමැරුම්, ඔක්කොමත් එක්ක සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක්. ඒ සියල්ල සිදුවෙද්දිත් ලංකාවෙ මුස්ලිම් නායකයො තමන්ගෙ දේශපාලන පැවැත්ම සඳහා ඒ අන්තවාදීන්ටත් අනුග්‍රාහය දක්වලා වැඩෙන්න ඉඩ දුන්න. පාස්කු ඉරිදා බෝම්බ පිපිරුනායින් පස්සෙ සමහර නායකයො කියන්න පටන් ගත්ත “අපි හිතුවෙ නෑ මෙච්චර දෙයක් සිද්ධවෙයි” කියල.

නමුත් දැන් අපි සිද්ද වෙලා තියෙන දේට විසඳුමක් හොයන්න ඕන. ත්‍රස්තවාදය මේ රටේ සෙසු ජන කොටස් කිසිසේත්ම ඉවසන්නෙ නෑ. මේ ත්‍රස්තවාදය අපි මොන ක්‍රමයකින් හෝ විනාශ කළයුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය නිසා සිංහල පුද්ගලයන් අත්අඩංගුවට ගැනුන, සිංහල නිවාස හා පන්සල් සෝදිසි කෙරුණා. කොටි ත්‍රස්තවදය නිසා දෙමළ පුද්ගලයන් අත්අඩංගුවට ගැණුනා. දෙමළ නිවාස හා කෝවිල් සෝදිසි කෙරුණා. මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවෙන ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න නම්, අනිවාර්‍යයෙන්ම මුස්ලිම් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න වෙනවා. මුස්ලිම් ගෙවල්, ව්‍යාපාරික ස්ථාන, පල්ලි සෝදිසි කරන්න වෙනවා. ඒවා කරන්නෙ නැතුව ඔඩු දුවපු අන්තවාදයක් තුළින් මතුවුණු ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න පුලුවන් වෙයි කියලා කියන එක බොරුවක්.

ආගම්වාදී ත්‍රස්තවාදය අපිට අලුත් දෙයක් වුණාට, ලෝකයේ සියලුම මුස්ලිම් රටවලට මේක බොහොම හුරු පුරුදු දෙයක්. මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ප්‍රජාව තමයි ලෝකයේ අති බහුතරයක් ඉන්නෙ. ඉන්දුනීසියාව, මලයාසියාවේ ඉඳල ඕමානය, ඩුබායි, ඉඳලා මොරොක්කෝව දක්වා මුස්ලිම් බහුතරයක් වාසය කරන රටවල මිනිස්සුත් කරන්නෙ අපි වගේම සාමාන්‍ය ජීවිත ගත කරන එකයි. මුස්ලිම් බහුතරයක් වාසය රටවල් බොහොමයක වෙනත් ආගම් අදහන අය දහස් ගණන්, ලක්‍ෂ ගණන් ඉන්නවා. අන්තවාදය මර්ධනය කරලා තියෙන ප්‍රමාණයට සාපේක්‍ෂව ඒ රටවල් වල අන්‍ය ආගමිකයන්ගේ සුරක්‍ෂිතතාවය තහවුරු වෙනවා.

ලංකාවේ විතරක් නොවෙයි, ලෝක මුස්ලිම් ප්‍රජාවගෙත් ලොකුම හතුරා තමයි, අන්තවාදී ත්‍රස්තවාදය. මුස්ලිම් රටවල් විනාශ කරන්න අධිරාජ්‍යවාදී බලවතුන් පාවිච්චි කරන ප්‍රධානම මෙවලමත් මේ ආගම්වාදී අන්තවාදයයි. ඒ ප්‍රවනතා වලට සිතාමතාම උඩගෙඩි දීලා අධිරාජ්‍යවාදී බලවතුන් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය වගේ හොඳට තිබුණු මුස්ලිම් රටවල් සහමුලින්ම විනාශ කරල ඉවරයි. අපේ රටටත් දැන් ඇවිල්ලා තියෙන අන්තවාදී ත්‍රස්තවාදයෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාවට වෙන්නෙ අගතියක්ම මිස සුගතියක් නොවෙයි. සුලු පිරිසකගේ දේශපාලන උවමනාව මත මේ රටේ මුස්ලිම් ජනතාව සෙසු සමාජයෙන් වෙන් කරලා, ගාල් කරලා, තියාගන්න එකේ භයානකකම දැන්වත් ඔවුන්ගේ නායකයන්ට අවබෝධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

සෙසු සියලුම ජනකොටස් එකතුවෙලා මේ වෙලාවෙ අපේ රටේ ඉන්න මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජාතිකයන්ට ආරක්‍ෂාව සපයන්න ඕන. ඔවුන් කොන් නොකල යුතුයි. මේ වෙලාවේ හැම මුස්ලිම් පුද්ගලයෙකුම තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කරලා, ලාංකික සංස්කෘතියට අනුගත වෙලා, තම ප්‍රජාව තව තවත් අගාධයට ඇදගෙන යන පටු ආගම්වාදී දේශපාලනයෙන් මිදෙන්න ඕන. ඒක මුස්ලිම් ප්‍රජාව තුළින්ම එන්න ඕන වෙනසක්.

ත්‍රස්තවාදයට විරුද්ධව රටේ විවිධ ජනකොටස් එකමුතු වෙමින් පවතින මේ අවස්ථාවාදී ලෝකයේ බහුතර මුස්ලිම් ප්‍රජාව අනුව යමින්, මධ්‍යස්ථ ලාංකික මුස්ලිම් ප්‍රජාවත් එම එකතුවට එක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම නායකත්වය දෙන ආණ්ඩුවක් යටතේ, මොනම ත්‍රස්තවාදයකටවත් මේ රටේ පවතින ඉඩ නොදෙන බව මම මේ අවස්ථාවේදී ජනතාව ඉදිරියේ ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කරනවා.

ස්තුතියි.
ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

Sinhala 11 June 2019

ජනාධිපති ඔටුනු පැළඳගෙන ඉන්න කරූ ජයසුරිය දෙබිඩි පිළිවෙතක

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දවසේ නිදහස ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරින්ටත් ඒ නිදහස ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
■ කතානායකතුමාටත් පන්සල් යන්න බැරි වෙනවා. මහානායක හාමුදුරුවෝ ඉස්සරහා සම්මාන ගත්තාට කටයුතු කරන්නේ දෙබිඩි පිළිවෙතක.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දවසේ නිදහස ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරින්ටත් ඒ නිදහස ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපි භාරදුන්න විශ්වාසභංග යෝජනාවටදිනයක් ලබා දෙන්න කියලා අපි පාර්ලිමේන්තුවේදි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. කතානායකවරයාගේ දෙබිඩි පිළිවෙත රටේ සියලු දෙනාටම දැක ගන්න පුලුවන් වුනා. එදා අපිට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාවට න්‍යායපත්‍ර ගැන නොසිතා ඒ අවස්ථාවේදීම කතානායකවරයා ඡන්දය විමසුවා. අපේ ආන්ඩුවේ සභානායක දිනේස් ගුණවර්ධන මහතා එයට විරුද්ධත්වය ප්‍රකාශ කරලා විශ්වාසභංගය නිත්‍යාණූකූලව ගේන්න. ඊට පස්සේ අපි විවාද කරමු කිව්වාම, නැහැ මම තීන්දුවක් ගන්නවා කියලා ආන්ඩුවේ අගමැති, සභානායක, සියලු තනතුරු හොබවන කෙනා වගේ කට හඩින් ඡන්දය විමසපු හැටි මුලු රටම දැක්කා. නමුත් න්‍යාය පත්‍රයට ඇතුල් කරපු රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට දිනයක් දෙන්න කිව්වාම ඒක මගේ වැඩක් නෙවෙයි. ඒක සභානායකතුමාගේ වැඩක්, ආන්ඩුවේ වැඩක් කියනවා. සභානායකතුමාත්, අගමැතිතුමාත් මේක මග හරිනවා. රිෂාඞ් බදියුදීන්ට, විපක්ෂයේ සියලු දෙනාම විරුද්ධයි. ඒ වගේම ආණ්ඩුවේ පිරිසකුත් විරුද්ධව ඉන්න බව දන්න නිසා විශ්වාසභංගය පරාජය වෙන බව ආණ්ඩුව දන්නවා. ඒ නිසා විශ්වාසභංගය විවාදයට නොගෙන කල් මැරීමටයි ආණ්ඩුව සුදානම් වුනේ. කතානායකතුමා එදා රටට කිව්වේ මම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියා කිව්වා. එදා විනාඩි 10ක් ඇතුළත කරපු වැඬේ දවස් හයක් ගිහින්ලත් කෙරුනේ නැති නිසා අද කතානායකතුමා පෙනි සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නෙවෙයි කියන එක රටම දැක්කා.
දැන් මංගල සමරවීරට පන්සල් යන්න බැහැ. රිෂ්ඩා බදියුදින්ට ඡන්දය දිලා ගමේ පන්සලට එන්න එපා කියලා හාමුදුරුවරු කියලා තියෙන්නේ. දැන් කතානායකතුමාටත් පන්සල් යන්න බැරි වෙනවා. මහානායක හාමුදුරුවෝ ඉස්සරහා සම්මාන ගත්තාට කටයුතු කරන්නේ දෙබිඩි පිළිවෙතක. රවි කරුණානායකව ඉවත් කළා වගේ ටික කාලයකට ඇමැතිකමෙන් ඉවත් කරලා සියලු සැප සම්පත් ඇතිව තියලා පස්සේ ආයෙත් ඇමැතිධූරයක් දුන්නා වගේ රිෂාඞ් බදුයිදීන්ටත් කරන්න යන බවට ආරංචි ලැබෙනවා. විජේදාස රාජපක්ෂ මහතා ආන්ඩුවේ ඉන්න සමයේදීත් මේවගේ සිද්ධියක් වුනාම ඇමැතිධූරයෙන් අයින් වෙන්න කිව්වා. තිලක් මාරපන ඇමැතිවරයාටත් ඒදේමයි කලේ. ආණ්ඩු හැම තිස්සෙම ප්‍රශ්නයක් ආවාම ඒ ප්‍රශ්නය ප්‍රශ්නයකින් යටපත් කරනවා. රිෂාඞ් බදියුදීන්ට එල්ල වෙලා තියෙන්නේ උසාවි ගිහින් පරීක්ෂණ කරලා ගේන්න පුලුවන් චෝදනා නෙවෙයි. විශ්වාසය කඩවිම නිසයා විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙනාවේ. පුලුවන්නම් මේකට ආණ්ඩුවක් විදියට මුහුණ දීලා ජයගන්න. මේ විශ්වාසභංගයට ඡන්දේ දීලා ගමේ එන්න එපා කියලා පාර්ලිමේන්තුව ඉස්සරහාම බැනරයක් ගහලා තියෙනවා.
බස්නාහිර පළාත් ආන්ඩුකාර අසාත් සාලි කියනවා ඇමරිකාවේ පෙන්ටගනයට ගැහුවා නම් ලංකාවට ගහපු එක ලොකු දෙයක් නෙවෙයිලු. එතුමාට ලොකු දෙයක් නොවුනාට මේ රටේ ගෙවල් 156ක මලගෙවල් තිබුණා. සමහර පවුල් පිටින් මැරුණා. තවමත් ලෙඩ වුනු අය ඉන්නවා. එතුමාට ලොකු දෙයක් නොවුනාට රටේ මිනිස්සුන්ට ලොකු දෙයක්. දරුවෝ තවමත් බයෙන් ඉන්නේ. පාසල්වල මුරකරන්න යන්න වෙලා. අසාත් සාලිට ලොකු දෙයක් නෙවෙයිලු. අදටත් අයි. එස්. අයි කට්ටිය අහුවෙනවා. දැන් කියනවා පාර්ලිමේන්තුවේ මේ අයගේ දෙන්නෙක් හිටපු කතාවක්. මේ ආන්ඩුකාරවරු ඉවත් කරන එක ජනාධිපතිවරයාට පැයක් යන්න කලින් කරන්න පුලුවන්. ඒ නිසා මේ වගේ බොරු කතා කියන අය රකින්නේ නැතිව අයින් කරන්නයි අපි ජනාධීපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුව වගකිම් භාරගන්නවා කිව්වාට ජනතාවට වුනු කිසිම දෙයක් නැහැ. ඉන්දියාවෙ නම් කෝඞ්ඩියක් පෙරලුනත් වගකිම භාර අරන් ඇමැතිවරයා අයින් වෙනවා. මේ ආන්ඩුව වගකිම භාරගත්තා නම්, තමන්ට ආරක්ෂාව දෙන්න බැරි වුනානම් ඉල්ලා අස්වෙන්න ඕනේ. එහෙම නැතිව වගකිම භාර ගන්නවා කියන එකේ තේරුමක් නැහැ. ත්‍රස්තවාදි ප්‍රශ්නය විසදන්න ගෙනාපු හදිසි නීතියට මුවාවෙලා දේශපාලන පලිගැනිම් කරනවා. කළඹලා කියලා ගෙවල්වල ඉන්න , පන්සල්වල ඉන්න අය ගෙනත් හිරේදානවා. 21 වැනිදා සිද්ධියට සම්බන්ධ අය අයට ඇප දෙනවා. අහිංසක මිනිස්සු අත් අඩංගුවට ගන්න එක නතර කරන්න. මුජිබර් රහුමාන් කියනවා කළඹල කරපු අයට දඩුවම් කරන්න විශේෂ මහාධිකරණයක් ගේන්න කියලා. ත්‍රස්තවාදීන් මිනිස්සු මරලා දේපල හානි කරලා රටම නැවතත් යුද්ධයකට ගෙන ගිය අයට විශේෂ මහාධිකරණ ගේන්න කියන්නේ නැහැ. එයාගේ කට්ටියට කරදර වුනා කියලා විශේෂ මහාධිකරණ හදන්නලු. මේ ප්‍රකාශ නිසා තමයි මිනිසුස් තවත් කුපිත වෙන්නේ. කාගේ හරි කඩයක් කැඩුවා නම්, ගලක් ගැහුවා නම් ඒක වැරදියි.ඒ නිසා මේ අය මොනවා කිව්වත් කළඹල වෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. ඒ වගේම ආන්ඩුව ආරක්ෂා කරගන්න අන්තවාදින්ට ඕනේ විදියට කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. අන්තවාදී අදහස් ප්‍රකාශ කරන අයව එතුමාගේ බලය භාවිතා කරලා අස්කරන්න කියලත් අපි ඉල්ලා සිටනවා.
■ සිහින ලෝකෙක ජනාධිපති විදියට ඔටුනු පැළඳගෙන ඉන්න කරූ ජයසුරිය කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිළි පැලඳගෙන පාර්ලිමේන්තු අර්ථ නිරූපනයන් පැත්තකට දාලා තමන්ට ඕනේ විදියට පාර්ලිමේන්තුව හසුරුවන්න අරන් තියෙන්නේ.
■ දෛනික ජිවිතය කඩා වැටුනත් ආන්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ බලයේ ඉන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා
රටේ සමස්ත ජනතාවම පාලකයින් දුක් වෙනවා. සිහින ලෝකෙක ජනාධිපති විදියට ඔටුනු පැළඳගෙන ඉන්න කරූ ජයසුරිය කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිළි පැලඳගෙන පාර්ලිමේන්තු අර්ථ නිරූපනයන් පැත්තකට දාලා තමන්ට ඕනේ විදියට පාර්ලිමේන්තුව හසුරුවන්න අරන් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා විදියටයි පහුගිය කාලයේ කටයුතු කලේ. අද වෙද්දි හැසිරෙන හැටි දිහා මුලු රටම වික්ෂීප්ත වෙලා බලන් ඉන්නේ. ඒ ප්‍රහාරයෙන් මිනිස් ජිවිත කැඹලි වුනා විතරක් නෙවෙයි, භීතිය අවිනිශ්චිතතාවය මිනිස්සුන්ගේ හිත්වලට ඇතුලුවෙලා. අපි කවුරුත් රටේ ආර්ථිකයට අවධානය යොමු කරන්නේ නැහැ. මේ සිද්ධිය වෙන කොටත් මන්දගාමීව පණ අදිමින් තිබුණු ආර්ථිකය අද ගන්න දෙයක් නැහැ. ආරක්ෂක අංශවලට පින්සිද්ද වෙන්න ප්‍රශ්නය සමනය වුනත් මේ අදුරු සෙවනැලිවලින් ආන්ඩුවට බේරෙන්න හැකියාවක් නැහැ. රටේ ජනතාව හැම තැනම විශ්වාසභංග යෝජනාවේදී රිෂාඞ් බදියුදින් වෙනුවෙන් ඡන්දය දීලා ගමට එන්න එපා කියලා දැන්වීම් ගහනවා. ත්‍රස්තවාදින් සමග සම්බන්ධකම් පවත්වපු දේශපාලනඥයින්ට දඩුවම් කරන්න කියලයි කියන්නේ. කාදිනල්තුමාගේ සමහර ප්‍රකාශවලින් දැනෙන්නේ මේ පිටුපස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනබවයි. අපිට හිතෙන්නේ රිෂාඞ් බදියුදීන් කියලයි.1971 තරුණ නැගිටිම වෙලාවේ වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමාටත් රැදවුම්භාරයේ වසර දෙකක් ඉන්න සිද්ධ වුනා. වාසුදේව නානායක්කාර මහතා සම්බන්ධ නැති නිසා පසුව නිදහස් වුනත් මැතිණිය ඒ වෙලාවේ කළයුතු දේකරන්න පියවර ගත්තා. නොසන්සුන්තාවයක් ඇති වුනු වෙලාවේ නොබියව පියවර ගන්න සවියක් ඇයට තිබුණා. දැන් මේ ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් වත් අරන් නැහැ. හමුදාපතිවරයාට කතා කරලා සැකකරුවන් ගැන තුන්වතාවක් විමසලා තියෙනවා වුනත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. මාධ්‍ය මාෆියාව කියලයි චෝදනා කලේ. මාධ්‍ය තොරතුරු එළි නොකළා නම් අපි කිසිවක් දන්නේ නැහැ. කතානායකවරයාගේ නිත්‍යාණුකූල බලය පාවිච්චි කරලා මේ විශ්වාසභංගයට ඉඩ දෙන්න. අගමැතිතුමා, විපක්ෂනායකතුමා කියන්නේ මේ බලය තියෙන්නේ කතානායකට කියලයි. එහෙම කියද්දි එතුමා හදන්නේ සභානායකට බෝලය දාලා වැඬේ නොකෙරන තැනට වැඩ කරන එකයි. අපි හිතනවා ඉදිරි පැය කිහිපයේ විශ්වාසභංයට දින දෙයි කියලා. එහෙම නොවුනොත් ජනතාව නිසි පිළිතුරු දෙයි. මරණ තුනක් ඇති මිනිසෙක් පැණී කෑවා කියනවානේ. රටේ මොනතරම් ප්‍රශ්න තිබුණාත්, දෛනික ජිවිතය කඩා වැටුනත් ආන්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ බලයේ ඉන්නයි. ඊට ගැලපෙන විදියටයි සියල්ල හසුරුවන්නේ. අපි ජනතාවගේ පැත්තේ ඉදලා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. පහුගිය කාලයේ පාසල් දරුවන්ගේ පැමිණීම අඩු වෙලා තිබුණත් පහුගිය අගහරුවාදා ලඹයින්ගේ පැමිණිම වැඩි වෙන්න ගත්තා. ඒක හොද දෙයක් . මේකට අපි ආරක්ෂක අංශවලට ස්තූතිවන්ත වෙනවා. ආන්ඩුව මාධ්‍ය නිවේදන නිකුත් කළා මිසක් ළමයින් ගෙන්වා ගන්න පියවර ගත්තේ නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාසල් ගණනාවකට ගිහින් දෙමව්පියන්ට දරුවන්ට ශක්තියක් වුනා. අපිටත් අවශ්‍ය දෛනික ජිවිතය යථා තත්ත්වයට පත්වෙලා රට ඉදිරියට යන්නයි.

■ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ලාභ ලබන ව්‍යෘපාර ටිකත් විකුණලා දාන්නයි ජාත්‍යන්තර හොරුන්ට පත්වීම් දෙන්නේ.
■ ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ජිවිත නැති වුනු දේශපාලකයින්ගේ පුත්තු පිළීකුල් සහගත විදියට ත්‍රස්තයින් වෙනුවෙන් පෙනී සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා
ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ මෙයට සම්බන්ධ, ඊට අනුබල දුන්න, සෑම සියලු පාර්ශවයක්ම එරෙහිව නීතියෙන් කටයුතු කරන්නයි කියලා ජනතාව ඉල්ලා සිටිනවා. අපේ දරුවන්ට පාසල් යන්න කිව්වට අද වෙනකල් ඇමැතිවරුන්ගේ දරුවන් පාසල් යවන්නේ නැහැ. පාරවල් වහගෙන තමන්ගේ ආරක්ෂාව පමණක් සලසා ගන්න වැඩපිළීවෙලක් තියෙන්නේ. මේ පරීක්ෂණ කඩිනම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි වුනු පවුල්වල දරුවන් සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමක් කරන්න අවශ්‍යයි. මේ අන්තවාදී කණ්ඩායම්වලට සහාය දුන්නේ රජයයි. ඒ වැඩපිළීවෙල නිසා ජාත්‍යන්තරයේ බෞද්ධ මුස්ලිම් ජනතාව අතර අන්තවාදි අරගලයක් කියලා පෙන්විමේ උත්සාහයක් තියෙනවා. මෙවැනි අවස්ථාවකයි විශ්වාසභංගය ගේන්නේ. මේ අන්තවාදී ප්‍රහාරයට සම්බන්ධ අයව තවදුරටත් ආරක්ෂා කරන්න හදන බව රටේ ජනතාව විශ්වාස කරනවා. ආන්ඩුවෙන් විශ්වාසභංගය යට ගහන්නයි අත්සාහ කරන්නේ. අපි සාක්ෂි සහිතවයි විශ්වාසභංගය ගෙනාවේ. මේ හමුදාපතිතුමාට බලපැම් කරපු ආකාරය මේ වෙද්දි හෙලි වෙලා ඉවරයි. මාවනැල්ල බුදුපිළිම කඩපු අවස්ථාවේ ඒ අන්තවාදින් නිදහස් කරගන්නත් ආන්ඩුකාරවරයෙක් කටයුතු කළා. එතැනදි නිසි පියවර නොගත්ත නිසයි මේ වගේ තත්ත්වයන් ඇති වුනේ. විශ්වාසභංග යෝජනාවට මේ අවස්ථාවේ සහාය දෙන්නයි අපි ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපක්ෂපාතිව පරීක්ෂණ කරලා මේ බදියුදින් ඇමැතිවරයාව අමාත්‍යධූරයෙන් ඉවත් කරන්නයි අපි ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයක් පෙනි පෙනි සිටින අවස්ථාවක අපිට ආන්ඩුව පෙරලන්න අවශ්‍යතාවයක් නැහැ.
පහුගිය කාලයේ මේ ආන්ඩුව පෙරලන්න අවශ්‍ය නැහැ කියපු ජවිපේ දැන් එකපාරටම ආන්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනත්. ආන්ඩුව අස්ථාවර විම වලක්වන ආන්ඩුවට කඬේ යන වැඩපිළීවෙලක් මේක. ආන්ඩුව කඩා වැටිලා ගෙදර යන්න වෙයි කියලා ආන්ඩුවේ මන්ත්‍රීවරු බියවද්දලා රනිල් වික්‍රමසිංහ රැක ගන්නයි මෙහෙම කරන්නේ. අපි දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා පක්ෂ ආගම් භේදයකින් තොරව මේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්න කියලා. ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ජිවිත නැති වුනු දේශපාලකයින්ගේ පුත්තු පිළීකුල් සහගත විදියට ත්‍රස්තයින් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ දේශපාලනඥයින් අතර ත්‍රස්තවාදීන්ගේ මුදල් හුවමාරු වෙන කාලයක්
අපි ඉදිරියේදී රිෂාඞ් බදියුදීන් වැනි ත්‍රස්තවාදින්ට පණ පොවපු අය සම්බන්ධ කරගන්නේ නැහැ. එජාපයේ පොදු අපේක්ෂක හිගාකෑම ඇරඹිලා. දැන් පොදු අපේක්ෂකයා කිව්වාම ජනතාව බියයි. පොදු අපෙක්ෂකයේ වුනොත් ජනාධීපතිවෙලා රූකඩයක් වෙන්නයි වෙන්නේ. ආර්ථික වශයෙන් රටට ශක්තියක් වුනු ධම්මික පෙරේරා මහත්තයාට ලණුව දිලා තියෙනවා. ලණුව කෑවොත් දුක් විදින්න වෙන්නේ එතුමාටමයි. ධම්මික පෙරේරා නෙවෙයි ඇලෙක්සැන්ඩර් ආවාත් මීලග ජනාධිපති බිහිවෙන්නේ පොහොට්ටුවෙන්. අද ඥාණසාර හිමි නිදහස් වෙන බව ආරංචියි. ඥාණසාර හිමියන්ව හිරගත කලෙත් නිදහස් කරන්නෙත් මේ යහපාලන ආණ්ඩුවමයි. ඥාණසාර හිමියන් බලන්න ගිහින් එළියට ආපු අසාත් සාලි කිව්වා පෙන්ටගනයට ගැහුවා නම් මේක සුලු සිද්ධියක් කිව්වා. ඉතිහාසයේ ඇමරිකාව හැම යුද්ධයක්ම පරාජය වෙලා. ශ්‍රී ලංකාව නම් දිනලා තියෙනවා. ජනතාව මෝඩයින් විදියට ගන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු පිට යන වෙලාවක ලක්ෂ තිහක විතර වැටපකට විදේශිකයෙක්ට එහි තනතුරක් දීලා. මොහු ඇමරිකානු ජාතිකයෙක්. මොහුගේ සුදුසුකම් තියෙන අය ඕනතරම් මේ රටේ ඉන්නවා. මේ පුද්ගලයා 2006 දි සාෆි කියන ඇෆ්ගන් එයාර් සමාගම වහපු පුද්ගලයා. ඇෆ්ගනිස්ථානයේදී කාන්තාවක් සමග විවාහ වෙලා මුස්ලිම් ආගමට ඇතුලු වුනු පුද්ගලයෙක්. ජාත්‍යන්තර හොරුන්ව මේ රටට ගෙන ඒම ගැන කණගාටුයි. මේ ආයතනයේ ලාභ ලබන සේවාවන් සියල්ල විකුණන්නයි මේ පුද්ගලයා ගෙනාවේ කියලා අපි හිතනවා. කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවරක් නොගත්තොත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉතා ඉක්මනින් අවසන් වෙනවා.

ශ්‍රී ලාංකික විජයග්‍රහනයක දසවෙනි සංවත්සරය

මාධ්‍ය නිවේදනය, (විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා 2009 මැයි 19 වෙනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විජේරාම නිල නිවසේදී පැවැත් වූ විශේෂ දේශනයේ පිටපත)

ශ්‍රී ලාංකික විජයග්‍රහනයක දසවෙනි සංවත්සරය

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි,

මේ රටේ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුනු බෙදුම්වාදී ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීමේ දසවෙනි සංවත්සරය අපි 2019 මැයි මස 19 වැනිදා සනිටුහන් කරනවා. 1970 ඉඳලා ඉතාමත්ම සුලුවෙන් ආධුනික විදියට ආරම්භ වෙච්ච ඒ බෙදුම්වාදී ප්‍රචන්ඩත්වය තුළින් ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වුණ කොටි සංවිධානය බිහිවුණා. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය, මරාගෙන මැරෙන කුඩා බෝට්ටු හා රාත්‍රී කාලයේ කුඩා ගුවන් යානා භාවිතා කරමින් ඉලක්ක වලට පහර දීම වගේ ත්‍රස්තවාදී උපක්‍රම කොටි සංවිධානය තමයි ලෝකයට හඳුන්වල දුන්නෙ. නීත්‍යානුකූල මෙන්ම නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් මුදල් එකතු කිරීම පැත්තෙනුත් කොටි සංවිධානය හිටියේ ලෝකයේ අනිත් හැම ත්‍රස්තවාදී කණ්ඩායමකටම වඩා ඉදිරියෙන්. ආයුධ ගෙන්වීමට වෙනම නැව් ජාත්‍යන්තර මුහුදේ යොදවල තිබ්බ ලෝකයේ එකම ත්‍රස්තවාදී කණ්ඩායම තමයි කොටි සංවිධානය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කොටි සංවිධානයට විරුද්ධව යුද්ධ කිරීමට ආයුධ ලබා ගත්තේ ණයට. නමුත් කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවටත් ඉන්දියාවේ හමුදාවටත් විරුද්ධව සටන් කරන්න ජාත්‍යන්තර වෙළඳපොලෙන් ආයුධ ලබා ගත්තේ අත්පිට මුදලට. රටවල් දෙකක නායකයන් – ඒ කියන්නේ ඉන්දියාවේ රජීව් ගාන්ධි මැතිතුමත්, ලංකාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් – මරාගෙන මැරෙන ප්‍රහාර වලින් ඝාතනය කරපු ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය කොටි සංවිධානයයි. 2008 ජනවාරියේදී ඇමරිකාවේ FBI ආයතනය ලෝකයේ තිබෙන දරුණුම ත්‍රස්තවාදි සංවිධානය හැටියට ඔවුන්ව නිල වශයෙන්ම ශ්‍රේණිගත කළේ ඔය කාරණා නිසයි. 2009 මැයි 19 වන දා පෙරවරුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගොස් ඇති බවට තහවුරු වීමත් එක්කම අවසන් වුනේ ඒ වගේ ත්‍රස්තවාදයක්.

මේක පහසුවෙන් ලබාගත්ත ජයග්‍රහණයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 25,367 දෙනෙකු ඒ යුද්ධයේ දී ජීවිතක්ෂයට පත්වුණා. සාමාන්‍ය පොලිස් නිළධාරීන් සිය ගනනක්ද, සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය පුරවැසියන් දහස්ගනනක්ද, දේශපාලන නායකයන් ගණනාවක්ද ඒ යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත්වුණා. එයින් තුවාල ලැබූ ගණනත්, විනාශ වූ දේපල වල වටිනාකමත් මෙතෙකැයි කියන්න බැරි තරම්. කොටි ත්‍රස්තවාදයට විරුද්ධව අපි ගෙන ගිය ඒ සටන ජය ගත්තෙ ඇතැම් රටවල් වලින් ඒ යුද්ධය නවත්වන්නය කියල කරපු බලපෑම් සියල්ල අපි කෙලින්ම ප්‍රතික්‍ෂේප කරපු නිසයි.

ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂ පාලනය අපිට ගොඩක් උදව් කරා. 2006 දී යුරෝපා සංගමය ලවා කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරගන්න අපට පුලුවන් වුණේ ඇමරිකාවේ උදවු නිසා. 2007 කොටි සංවිධානයේ ආයුධ නැව් ඕස්ට්‍රේලියාවට හා ඉන්දුනීසියාවට සමීප ජාත්‍යන්තර මුහුදේදී අපට විනාශ කරන්න පුලුවන් වුණේ ඇමරිකාවෙන් දීපු නිශ්චිත තොරතුරක් නිසා. නමුත් 2009 පෙබරවාරි මාසයේ ඉඳල ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා. එතකොට ඒගොල්ලන්ගෙ ආකල්පය වෙනස් වුණා. නමුත් අපි ජාත්‍යන්තර බලපෑම් නොතකා යුද්ධය අවසන් කළා.

මෑත ලෝක ඉතිහාසයේ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඒ විදියට සහමුලින්ම විනාශ කරපු එකම රට ලංකාවයි. ඒ වගේ මහා විපතකින් ගොඩ ආවට පස්සෙ රටක් ඒ අතීතය අමතක කරල ඉදිරියට යන්න ඕන. නමුත් ලංකාවෙ යුද්ධය අවසන් වුණාට මේ රටට සාමය උදාවෙන්න සමහර ජාත්‍යන්තර මෙන්ම දේශීය බලවේග ඉඩ දුන්නෙ නැහැ. යුද්ධය අවසන් වෙච්ච දවසෙ ඉඳලම ඒ අය කළේ අතීතය කබල්ගාමින් ගැටුම කොහොම හරි පවත්වාගෙන යන එකයි. තමන්ගේ කීම අහන්නෙ නැතුව අපි යුද්ධය ඉවර කරාය කියන එක ඇතැම් අයට ප්‍රශ්නයක් වුණා. චීනය අපට උදවු කරනවාය කියන එකත් ඒ අයට ප්‍රශ්නයක් වුණා.

2015 ජනවාරි 09 වනදා මේ රටේ බලයට පත්වුණේ විදේශීය බලවතුන්ගෙ උවමනා එපාකම් ඉටුකරන ආණ්ඩුවක්. ඒ අයගේ න්‍යායපත්‍රය සකස් කරල තියෙන්නෙ මේ රටේ කොදු නාරටිය බිඳල ලංකාවට නැවත හිස ඔසවන්න බැරි විදියට කටයුතු සලස්වන්නයි. යහපාලන ආණ්ඩුව බලයට ආපු දා ඉඳලම කළේ මුලු ලෝකයම මවිත කරමින්, ඉවර කරන්න බැහැයි කියපු ඒ යුද්ධය අවසන් කරපු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට පන්න පන්න පහර දීමයි. 2015 දී මේ ආණ්ඩුව ඔවුන්ගෙ විදේශීය හාම්පුතුන් සමඟ එක්වෙලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත කරගත්ත 30/1 යෝජනාවෙන්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශණය කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන්ගේ සහභාගීත්වයෙන් දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවන්න එකඟවුණා.

උසාවියට ඉදිරිපත් කරන්න තරම් සාක්‍ෂි නැති වුනත් යුද අපරාධ කළාය කියල සැකයක් හරි චෝදනාවක් හරි තියෙන සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ව තනතුරු වලින් ඉවත් කරන්න ආණ්ඩුව එකඟ වුණා. 30/1 යෝජනාවේ සඳහන් පොරොන්දු ඉටු කිරීමට දැනටමත් ලංකා ආණ්ඩුව නීති ගණනාවක්ම සම්මත කරලයි තියෙන්නෙ. 2016 අංක 14 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත තුළින්, ඕනෑම අවස්ථාවක ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ පරිශ්‍රයකට ඇතුල් වෙලා එහි තිබෙන භාණ්ඩ හෝ ලියවිලි තමන් සන්තකයට ගන්න බලය තියෙන, අවශ්‍ය පුද්ගලයන් කැඳවා රාජ්‍ය රහස් පනතේ විධි විධානත් බල රහිත වෙන විදියට සාක්‍ෂි විභාග කළ හැකි විමර්ශණ සභාවක් දැනටමත් ඇති කරලයි තියෙන්නෙ.

අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කරන 2018 අංක 5 දරණ පනතින්, ලංකාවේ අතරුදහන් කරවීමක් සිදුකලාය කියල සැකකරන පුද්ගලයකු ලංකාවේදී අත්අඩංගුවට ගෙන වෙනත් රටකට ගෙන්වාගත හැකිවන විදියට විධිවිධාන සලස්වල තියෙනවා. අතුරුදහන් කරවීම් වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රඥප්තිය කියල ඒකට කිව්වට ඒකේ ඇත්තවශයෙන්ම තියෙන්නෙ සැකකරුවන්ට දඩුවම් කිරීමේ යාන්ත්‍රණයක්. මේ ආණ්ඩුව ගෙනාව 2018 අංක 24 දරණ අපරාධ කටයුතු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාවය ලබාදීමේ පනතෙන් කරන්නෙ පිටරටක උසාවියක් විභාග කරන නඩුවකට අදාලව සාක්‍ෂි හෝ වෙනත් දේවල් ලංකාවෙන් ලබාගත හැකිවන ආකාරයේ ක්‍රමවේදයක් සැකසීමයි.

මේ පනත් තුනම එකට එකක් සම්බන්ධයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් විභාග පවත්වල සැකකරුවන් පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ මත පදනම් වෙලා පිටරට උසාවිවල අපේ රණවිරුවන්ට විරුද්ධව නඩු දානවා. ඊට පස්සෙ ඒ විදේශීය රටවල් අතුරුදහන් වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ විධිවිධාන වලට අනුව අදාල පුද්ගලයන් ලංකාවේදී අත්අඩංගුවට අරගෙන තමන්ගෙ රටවලට ගෙන්න ගන්නවා. ඊට පස්සෙ එම පුද්ගලයන්ට විරුද්ධව අපරාධ කටයුතු වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනතේ විධි විධාන යටතේ නඩුව පවත්වාගෙන යනවා. ඒක තමයි සැලැස්ම.

ඒ අතරතුර ලංකාවේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දිගට හරහට දඩයම් කරනව. සාක්ෂියක් නැත්නම් කාගෙන් හෝ ප්‍රකාශයක් ලබාගෙන හෝ ඉලක්කගත සන්නද්ධ හමුදා සාමාජිකයන්ව හිරේ දමනවා. යුද්ධයට නායකත්වය දුන් හැම නිලධාරියෙක්ම පොලිසියට ගෙන්නල අඩුම ගානෙ ප්‍රශ්න කරල හරි තියෙනවා. අපේ රටේ ඉහලම ත්‍රිවිධ හමුදා නිලධාරියා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියාවත් තනතුර දරද්දිම කාලයක් රිමාන්ඩ් කරල හිටියා. මේවා සේරම කළේ අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන් රණවිරුවන් නොව මිනීමරුවන්, කප්පන් කාරයන් සහ හොරුන් කියන අදහස මේ රට තුළත්, ලෝකය පුරාමත් සමාජගත කරලා ඔවුන්ව විදේශීය උසාවි වලට පාවාදීම සාධාරණීකරනය කරන්නයි.

බුද්ධි අංශ නිලධාරීන්ව රඳවාගෙන හිටියේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන අනුව. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ අතින් යම් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම් ඒක විභාග වෙන්න ඕනෙ සාමාන්‍ය නීතිය යටතේයි. ත්‍රස්තවාදයද වැලැක්වීමේ පනත තියෙන්නෙ ත්‍රස්තවාදී උවදුරක් පවතින වෙලාවක ත්‍රස්තවාදීන්ට විරුද්ධව යොදවන්න විතරයි. මේ ආණ්ඩුව ඒ පනත සිතා මතාම සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව පාවිච්චි කළේ මුලු ත්‍රිවිධ හමුදාවම මානසිකව වට්ටන්න. මෙතන ක්‍රියාත්මක වුනේ ලංකාව සම්පූර්ණයෙන්ම නැතිභංගස්තාන කිරීමේ අංගසම්පූර්ණ වැඩ පිළිවෙලක්.

එක පැත්තකින් රට ආරක්‍ෂා කරන ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් දඩයම් කරලා අකර්මණ්‍ය කරනවා. ඊට පස්සෙ ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වල දීල මධ්‍යම ආණ්ඩුව නැත්තටම නැති කරල රට පළාත් ආණ්ඩු 09 කට බෙදල වෙන් කරනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතට අනුව හදිසි නීති තත්වයක් ප්‍රකාශ කළත් ඒකට විරුද්ධව කාට හෝ උසාවි ගිහිල්ල වාරණයක් ලබා ගන්න පුලුවන් වෙන විදිහට විධිවිධාන සලස්වලයි තිබුණෙ. ඒ ව්‍යවස්ථාව බැරි වෙලාවත් සම්මත වෙලා තිබුණ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ වෙන්නෙ මොනවද කියල අපිට හිතාගන්නවත් බැරි වෙනවා.

මේ සැලසුමේම තව කොටසක් තමයි 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරල දැන් ඔය සාකච්ඡා වෙන ප්‍රති-ත්‍රස්ත පනත ගේන එක. ඒකත් 2015 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපේ ආණ්ඩුව ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු වලින් ප්‍රධානම එකක්. ත්‍රස්තවාදවාදයට විරුද්ධව නීති වල ප්‍රධානම අරමුණ වෙන්නෙ ත්‍රස්තවාදය මර්ධනය කිරීමයි. ත්‍රස්තවාදයට දඩුවම් දීම ද්විතීයික කාරණයක්. ත්‍රස්තවාදය මර්ධනය කිරීමට අත්‍යවශය කාරණය වන්නේ අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදී සැකකරුවන් සාමාන්‍ය නීතියෙන් ඉඩ දෙනවට වඩා කාලයක් රඳවාගෙන ඉන්න ඉඩ සැලසීමයි. ඕක මත තමයි සියල්ල රඳා පවතින්නෙ. අපේ රටේ දැනට බලපවත්වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදී සැකකරුවෙකු මාස 18 ක් දක්වා රැඳවුම් භාරයේ තබා ගැනීමටත් ඔහුට එරෙහිව ඇති නඩු කටයුතු අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තබා ගැනීමටත් පුලුවන්.

නමුත් යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතට අනුව ත්‍රස්තවාදී සැකකරුවෙකු රැඳවුම් භාරයේ හා මහාධිකරණයේ නියෝගය මත රිමාන්ඩ් බාරයේ තබා ගත හැකි උපරිම කාලය අවුරුද්දයි. ඊට පස්සෙ සැකකරුවන්ට ඇප දෙන්න වෙනවා. ඔහුට විරුද්ධව නඩු පැවරීමෙන් පස්සෙ එක අවුරුද්දක් ඇතුළත නඩුව අවසන් කිරීමට නොහැකි වුවහොත් ඔහුව අනිවාර්යෙන්ම ඇප මත නිදහස් කරන්න වෙනවා. ඔහොම නීති වලින් ත්‍රස්තවාදයට එරෙහි සටන ජයගන්න බැහැ. 2005 දී ලන්ඩන් නුවර ප්‍රහාරයෙන් පස්සෙ ටෝනි බ්ලෙයාර් අගමැතිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාව ත්‍රස්තවාදී සැකකරුවන්ව මාස තුනක් නඩු නැතුව රැඳවුම් බාරයේ තබන්න.

ඒ වෙලාවෙ බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඒ ආණ්ඩුවෙන් ඉල්ලා හිටියේ ත්‍රස්තවාදී සැකකරුවන් විමර්ශණ වලට අවශ්‍ය වෙන ආකාරයට සීමාවක් පනවන්නෙ නැතුව රඳවා ගන්න පුලුවන් වෙන විදියට නීති හදන්න කියලයි. නමුත් ටෝනි බ්ලෙයාර්ගෙ ලේබර් පක්‍ෂයේ සමහර මන්ත්‍රීවරු ඇතැම් ජනකොටස් වල ඡන්දය මත රඳා පවතින නිසා ඒ නීති සංශෝධනයට ඉඩ දුන්නෙ නැහැ. ත්‍රස්තවාදී සැකකරුවන්ගේ උපරිම රැඳවුම් කාලය දින 28 ක් දක්වා පහතට දැම්මා. එදා ඉඳල අද වෙනකම්ම බ්‍රිතාන්‍යයේ පොලීසිය එක දිගටම පෙන්වා දෙන්නේ ඒ කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවයි.

ඇමරිකාව නම් ඊට වඩා වෙනස් විදියට කටයුතු කළා. 2011 දී බැරක් ඔබාමා ජනාධිපතිවරයා අලුත් නීතියක් ගෙනාවා ඇමරිකාව තුළ හෝ ඉන් පිටත ඇමරිකාවට විරුද්ධව කටයුතු කරන ත්‍රස්තවාදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තොත් ඔහුව දින නියමයක් නැතුව, නඩුත් නැතුව රැඳවුම් බාරයේ තබා ගන්න. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වගේ රාජ්‍ය නොවන සංවිධාන වලින් පෙන්නල දීලා තියෙනවා මේ නීතිය විදේශිකයන්ට මෙන්ම ඇමරිකානු පුරවැසියන්ටත් එක ලෙස බලපාන බව.

රඳවා තබාගන්න එක විතරක් නොවෙයි, ත්‍රස්තවාදයට දෙන දඩුවම් තදකරන එකත් මෙහිදී වැදගත් වෙනවා. 2015 ගෙනාපු පනතකින් මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඒගොල්ලන්ගෙ අනපනත් ගණනාවක්ම සංශෝධනය කරල ත්‍රස්තවාදයට දෙන දඩුවම් තවත් තද කළා. ඒ අනුව පුපුරණ ද්‍රව්‍ය නිපදවීම හෝ ලඟතබා ගැනීම වැනි වැරදි වලටත්, ත්‍රස්තවාදියෙකු හැටියට පුහුණුව ලැබීමත්, ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය හැකි වැරදි ලෙස නම් කරනු ලැබුවා. සාමාන්‍ය නීතිය යටතේ ඇති වැරදි යම්කිසි පුද්ගලයෙකු ත්‍රස්තවාදයට හවුල් වීම නිසා සිදු කරන්නේ නම්, එයට සාමාන්‍ය අපරාධකාරයෙකුට වඩා දැඩි දඩුවම් පැමිණවීම බ්‍රිතාන්‍යයේ නීතියෙන් සිදුවෙනවා.

නමුත් අපේ ආණ්ඩුව දැන් ගේන්න හදන ප්‍රති-ත්‍රස්ත පනතින් කරන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට ලබාදෙන දඩුවම් වලටත් වඩා බෙහෙවින්ම ලිහිල් දඩුවම් ත්‍රස්තවාදීන්ට ලබා දීමයි. ඒ ලිහිල් දඩුවම් වුනත් නොවිඳ සිටීමට ත්‍රස්තවාදී චූදිතයෙකුට නීතියෙන් ඉඩකඩ හදල දීලා තියෙන්නෙ. ත්‍රස්තවාදීන්ට උපරිම බුරුලක් ලබා දෙන අතරම රජයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් දඩයම් කරන ආණ්ඩුවක් තමයි අපිට ඉන්නෙ.

ඊට හාත්පසින්ම වෙනස් විදියට, ඇමරිකාව තමන්ගේ ජාතික ආරක්‍ෂාව ගැන සුවිශේෂ උනන්දුවක් දක්වනවා. ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා 2002 දී ඇමරිකානු සන්නද්ධ හමුදා ආරක්‍ෂා කිරීමේ පනත තුළින් ඇමරිකානු පුරවැසියෙකු හෝ ඇමරිකාවේ මිත්‍රයෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසින් අත්අඩංගුවට ගතහොත් එම පුද්ගලයාව බලහත්කාරය යොදවා හෝ මුදවා ගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයාට බලතල පවරා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ උසාවි හා රජයේ ආයතන සියල්ලටම ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය එක්ක මොනම හෝ ගනුදෙනුවක් පවත්වාගන්න එක සම්පූර්ණයෙන්ම තහනම් කරලයි තියෙන්නෙ. ආත්ම අභිමානයක් තියෙන රටක් තමන්ගේ සන්නද්ධ හමුදා රකින්නේ එහෙමයි.

එක ත්‍රස්තවාදයක් පරාජය කිරීමේ 10 වන සංවත්සරය සමරණ මේ මොහොතේ අපි දැන් තවත් ත්‍රස්තවාදයකට මුහුණ දීල තියෙනවා. මේක ගෝලීය ත්‍රස්තවාදය එක්ක කටයුතු කරන දේශීය ත්‍රස්තවාදයක්. 2008 මුම්බායි නගරයට ප්‍රහාරය එල්ල වුණේ ඉන්දියන් ජාතිකයො අතින් නෙවෙයි. නමුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරපු හැම ත්‍රස්තවාදියෙක්ම ශ්‍රී ලාංකිකයෙක්. ඒ ත්‍රස්තවාදීන් පළමු ප්‍රහාරයෙන්ම කොටි සංවිධානයටවත් එක් තනි ප්‍රහාරයකින් මරන්න බැරි වෙච්ච තරම් සිවිල් වැසියන් ගණනක් ඝාතනය කළා. අද මේ රට බේරගන්න ඉන්නෙ මේ ආණ්ඩුව නින්දිත විදිහට දඩයම් කරපු සන්නද්ධ හමුදාව විතරයි.

යුද ජයග්‍රහණයේ දසවෙනි සංවත්සරයේදී මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න කැමතියි ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී කිසිදු යුද අපරාදයක් සිදු නොවුන බව. ලෝකයේ සන්නද්ධ ගැටුම් වලට බලපාන නීතිය සකස්කරල තියෙන්නේ යුද්ධ කරන්න බැරි විදිහට නෙවෙයි, යුද්ධ කරන්න පුලුවන් විදියට. යුද නීතිය ඒ තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කියලත් කියන්න ඕනෙ. එම බටහිර රටවල් පිළිගන්න යුද නීතියට අනුව ලංකාවේ කිසිදු යුද අපරාධයක් සිදු නොවුනු බව මම නැවතත් ප්‍රකාශ කර සිටිනවා.

ලෝකයේ යුද නීතිය හා භාවිතය පිලිබඳව ප්‍රමුඛතම විශේෂඥයන් වන මහාචාර්ය මයිකල් නිවුටන්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්, ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, රැජිනගේ නීතීඥ රොඩ්නි ඩික්සන්, මේජර් ජනරාල් ජෝන් හෝම්ස් වැනි විශේෂඥයන් ඒ කාලයේදී මේ බව ලිඛිතවම ලංකා ආණ්ඩුවට දන්වල තිබුණා. ලංකාවේ සන්නද්ධ හමුදා යුද අපරාධ කළ බවට කෙරෙන මේ චෝදනාව හුදෙක්ම දේශපාලන කාරණයක්. අපිට ඒකට ප්‍රතිචාර දක්වන්න පුලුවන් වෙන්නෙත් දේශපාලනිකවයි.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගෙන රටට සාමය උදාකර දෙන්න දිවි පිදූ හා අබාධිත තත්වයට පත්වුණු සියලුම රණවිරුන් මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.

2019 මැයි 19

ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට ගෙන එන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත

මාධ්‍ය නිවේදනය

ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට ගෙන එන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත

වත්මන් ආණ්ඩුව 2015 ඔක්තෝබර් මාසයේදී අංක 30/1 දරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් තම විදේශීය හාම්පුතුන්ට දුන් එක් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට වෙනත් නීතියක් සම්මත කරන බවයි. මේ සඳහා ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත දේශපාලන හා මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ මේ පනත් කෙටුම්පතේ ‘ත්‍රස්තවාදය’ යන්න නිර්වචනය කර තිබෙන ආකාරය නිසා සාධාරන හා යුක්ති සහගත දේශපාලන හා වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මෙන්ම මාධ්‍ය විසින් තොරතුරු ප්‍රසිද්ධ කිරීමත් එම තොරතුරු වල මූලාශ්‍ර පිළිබඳ රහස්‍යභාවය රැකීමත් ත්‍රස්තවාදය හැටියට සැලකීමට ඉඩ ලැබෙන බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පසු, එම ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතේ විධිවිධාන වලට අනුව ශ්‍රී ලාංකීය පුරවැසියන් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් ඇතිකර ගැනීම තහනම් කළ හැකි බව කියමින් ආණ්ඩුව එයට ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින ආකාරය අපට පෙනේ. නමුත් ආණ්ඩුවේ මෙම ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත විරෝධකල්පික දේශපාලන ක්‍රියාකාරීත්වයට හා මාධ්‍ය නිදහසට අකුල් හෙළිම තුලින් සාමාන්‍ය පුරවැසියන් දඩුකඳේ ගසන අතරම, ත්‍රස්තවාදීන්ට සුවිශේෂ බුරුලක් ලබා දෙන ආකාරයට සකස් කර ඇත. ත්‍රස්තවාදීන්ට ලබාදෙන බුරුල නිසා එමඟින් සැබවින්ම සිදුවන්නේ ත්‍රස්තවාදය වැලැක්වීම නොව ත්‍රස්තවාදීන්ට ආරක්‍ෂාව ලබාදී ත්‍රස්තවාදය තවත් දිරි ගැන්වීමය.

අපේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව එක් පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුටත් මරණ දණ්ඩනය හිමි වේ. නමුත් යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතට අනුව පුද්ගලයන් සිය ගණනක් නැතිනම් දහස් ගණනක් වුවත් ඝාතනය කිරිමේ චෝදනාවකට වරදකරු වන ත්‍රස්තවාදියෙකුට දිය හැකි උපරිම දඩුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඩුවමකි. දණ්ඩ නීති සංග්‍රහයට අනුව මිනී මැරීමට ආධාර හා අනුබල දීමටත් මරණ දණ්ඩනය හිමිවුවද යෝජිත නීතිය යටතේ මහා පරිමාණ ඝාතන වලට ආධාර හා අනුබල දීමට වුවත් හිමිවන උපරිම දඩුවම වන්නේ අවුරුදු 15ක උපරිම සිර දඩුවමක් හා රුපියල් දසලක්‍ෂයක උපරිම දඩයකි. යම් වරදකට රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිමිවෙන දඩුවම්වලටත් වඩා බෙහෙවින්ම ලිහිල් දඩුවම් ත්‍රස්තවාදීන්ට ලබා දීමෙන් ත්‍රස්තවාදය අධෛර්යමත් කළ හැකිද?

යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරුවන්ට ඉතාමත්ම යහපත් ලෙස සැලකීමට පොලීසිය හා සන්නද්ධ හමුදා බැඳි සිටී. සන්නද්ධ හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම තිබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට බාරදිය යුතු වේ. එම ස්ථානාධිපතිවරයා අදාල සැකකරුගේ සිරුරේ තුවාල තිබේදැයි පරීක්‍ෂාකොට බලා ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම අත්අඩංගුවට ගැනීම තුළින් සැකකරුගේ මූලික අයිතීන් උල්ලංඝනය වී තිබෙනවාද නැද්ද යන්න ගැන සොයා බැලීම සඳහා අත්අඩංගුවට ගැනීම සිදු වී පැය 24ක් ඇතුළත ඒ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතද වාර්තා කළ යුතු වේ.

යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අඳාල නිලධාරීන් තම අනන්‍යතාවය ත්‍රස්තවාදී සැක කරුවාට පමණක් නොව, එම අවස්ථාවේදී එතන සිටින ඔහුගේ පවුලේ අය නැතිනම් මිත්‍රයන්ටත් හෙළිකල යුතු වෙයි. එවැනි නීතියක් මොවුන් ගෙන එන්නේ මේ රටේ ත්‍රස්තවාදීන් විසින් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල් බුරුතු පිටින් ඝාතනය කළ ඉතාහාසයද නොතකාය. සිරභාරයට ගනු ලබන ත්‍රස්තවාදී සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට හෝ වෙනත් අයට ඔහුව බැලීමට සාධාරණ අවකාශයක් යෝජිත පනත යටතේ ලබාදිය යුතු වේ. මේ ආකාරයට අත්අඩංගුවට පත් ත්‍රස්තවාදියෙකු බැලීමට එන පුද්ගලයා ඊළඟ මරාගෙන මැරෙන බෝම්බකරුවා වීමටත් ඉඩ තිබෙන වාතාවරණයක පවා මේ විධිවිධානය ක්‍රියාත්මක වේ.

යෝජිත පනත යටතේ ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගන්නා මොහොතේ සිට ඔහුගේ යහපැවැත්ම අන් සියල්ලටම වඩා මුල් තැන ගනී. අත්අඩංගුවට ගන්නා සියලු ත්‍රස්තවාදී සැකකරුවන් පැය 48 ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු වන අතර, එම සැකකරුවන්ගේ යහපැවැත්ම ගැන එම මහේස්ත්‍රාත්වරයා පුද්ගලිකවම කරුණු විමසා බැලිය යුතු වේ. සැකකරුවෙකු රැඳවුම් බාරයේ තබාගත හැක්කේ සති දෙකක කාලයකට පමණි. රැඳවුම් බාරයේ සිටින කාලය දීර්ඝ කළ හැක්කේ මහේස්ත්‍රාත්වරයෙකුගේ අනුමැතියට යටත්ව පමණි. ත්‍රස්තවාදී සැකකරුවෙකු රැඳවුම් බාරයේ තබාගත හැකි උපරිම කාලය සති 8ක් වේ. වර්තමානයේ බලපවත්වන ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ නම් සැක කරුවෙකු මාස 03ක් රැඳවුම් බාරයේ තබාගත හැකි අතර එම කාලය මාස 18 ක් දක්වා දිර්ඝ කල හැක.

යෝජිත නීතිය යටතේ සැකකරුවකු නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් බාරයේ තබාගත හැකි උපරිම කාලය මාස 06 ක් වේ. මහාධිකරණ නියෝගයක් මත පමණක් එම කාලය තවත් මාස 06ක් දක්වා දීර්ඝ කළ හැක. නමුත් එම කාලය තුලද නඩු පැවරීමක් සිදු නොවුනහොත් අදාල සැකකරුවාව අනිවාර්යෙන්ම ඇප මත නිදහස් කළ යුතුවේ. නමුත් වර්ථමානයේ බලපවත්වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සැකකරුවෙකුට එරෙහිව නඩු පවරා අදාල සියලු කටයුතු ‍අවසන් වනතුරු ඔහුව දිගටම රිමාන්ඩ් බාරයේ තබාගත හැකි වේ. යොජිත නීතියට අනුව සැකකරුවන් රැඳවුම් බාරයේ හෝ රිමාන්ඩ් බාරයේ රඳවා තබා ඇති සියලුම ස්ථාන කලින් දැණුම් දීමකින් තොරව මානව හිමිකම් කොමිසම හා මහේස්ත්‍රාත්වරුන් විසින් පරීක්‍ෂණයට ලක්කොට ත්‍රස්තවාදී සැකකරුවන්ගේ සුවදුක් සොයාබලා, ඔවුන්ගේ යහපැවැත්මට අවශ්‍ය සියලුම මූලික පහසුකම් අදාල ආයතන විසින් සපයා දෙන බවට වගබලාගත යුතු වේ. මෙම යෝජිත පනත යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇති ත්‍රස්තවාදී සැකකරුවෙකුට එරෙහිව ඇසෙන නඩුව අවුරුද්දක් තුළ අවසන් කිරීමට නොහැකි වුවහොත් ඔහුව ඇප මත නිදහස් කිරීමට මහාධිකරණය බැඳී සිටී.

නඩු පැවරීමෙන් පසුත් ත්‍රස්තවාදී චූදිතයන්ට විශේෂ සහන ලැබේ. යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට අනුව යම් කිසි ත්‍රස්තවාදියෙකුගේ ක්‍රියාකාරකම් නිසා ‘කිසිවෙකුට මරණය හෝ බරපතල ශාරීරික හානියක් සිදුවී නැත්නම්’ හා ‘රාජ්‍ය ආරක්‍ෂාවට එම පුද්ගලයාගේ ක්‍රියාකාරම් තුළින් බරපතල අගතියක් සිදුවී නැත්නම්’ හා අඳාල සැකකරුවා තමන් කළ දේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කරන්නේ නම් හෝ වින්දිතයන්ට වන්දියක් ගෙවීමට එකඟ වන්නේ නම් හා පුනරුත්තාපන වැඩසටහනකට සහභාගී වන්නේ නම්, නීතිපතිවරයාට එම සැකකරුට එරෙහිව තිබෙන නඩුව අත්හිටුවීමට නැත්නම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට වුවද හැක.

‘කිසිවෙකුටත් හානියක් නොකළ’ එමෙන්ම ‘රාජ්‍ය ආරක්‍ෂාවටත් අගතියක් සිදු නොකළ’ අයකු ප්‍රති-ත්‍රස්ත නීතියක් යටතේ අත්අඩංගුවට පත් වී උසාවියක චූදිතයෙකු බවටත් පත්විය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී පැනනගී. ප්‍රායෝගිකව ගත්කළ ත්‍රස්තවාදී සැකකරුවෙකුට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය යටතේ නඩුවක් පවත්වාගෙන යාමට තරම් සාක්‍ෂි එකතු කිරීම දුෂ්කර කටයුත්තකි. බොහෝවිට සාක්‍ෂි එකතු කිරීමට බාධා වන්නේ එම ත්‍රස්තවාදය නිසාම රටේ පවතින තත්වයයි. යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඉන්පසු උසාවියක චෝදනා ගොනු කරනු ලැබූ පසුත් ඔහු ‘කිසිවෙකුටත් හානියක් නොකළ’ එමෙන්ම ‘රටේ ආරක්‍ෂාවටත් අගතියක් නොකළ’ අයෙකු හැටියට සැලකෙන්නේ නම් එයට හේතුව ඔහුගේ ක්‍රියාකාරකම් ගැන උසාවියට පිළිගත හැකි සාක්‍ෂි සොයා ගැනීමේ අසීරුතාවය පමණි. ඔහු චෝදනා ලැබ සිටින අපරාධය ඔහු නොකලාය යන්න ඉන් හැඟෙන්නේ නැත.

ආණ්ඩවේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතින්ද ඒ යථාර්තය පිළිගෙන ඇත. යම්කිසි ත්‍රස්තවාදී සැකකරුවකුට එරෙහිව ඇති චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පෙර අදාල චූදිතයා නීතියෙන් තමන් නොකළ බවට සැලකෙන අපරාධයකට ප්‍රසිද්ධියේ සමාව ගතයුතු බවටත් තමන් විසින් හානියක් නොකළ වින්දිතයන්ට වන්දි පවා ගෙවිය යුතු යැයි මේ ප්‍රති-ත්‍රස්ත පනතින්ම නියම කොට ඇත්තේ එම කාරණය නිසාය. යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතේ ඇති එවන් ජුගුප්සාජනක විධිවිධාන වලින් වක්‍රව පිළිගෙන ඇත්තේ ත්‍රස්තවාදී සැකකරුවන් සාමාන්‍ය නීතිය යටතේ උසාවියක නඩු පවරා වරදකරු කිරීමට ඇති අසීරුතාවයයි. සාමාන්‍ය නිතිය යටතේ උසාවිය බලාපොරොත්තු වන සාක්‍ෂි භාරය ත්‍රස්තවාදයක් පවතින අවස්ථාවක ප්‍රායෝගික වන්නේ නැත.

මේ නිසා ත්‍රස්තවාදයට එරෙහිව ගෙන එනු ලබන නීති වලින් බොහෝ විට කළ හැක්කේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම මිස ත්‍රස්තවාදීන්ට නීතියෙන් දඩුවම් දීම නොවේ. ත්‍රස්තවාදයට එරෙහිව යම් නීතියක් සම්මත කර ගන්නේ නම් එය අඩුම වශයෙන් ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ මූලික අවශ්‍යතාවයවත් ඉටුකරගත හැකි ආකාරයට දැඩි විය යුතුය. 1979 දී එජාප අණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැඩි නීතියක් බවට විවාදයක් නැත. නමුත් අපට මුහුරණ දීමට සිදුවූයේ ලෝකයේ කිසිම තැනක දක්නට නොලැබුණු තරමේ මිලේච්ඡ ත්‍රස්තවාදයකටය. එවන් දැඩි නීති නොමැතිව ඒ ආකාරයේ ත්‍රස්තවාදයක් පරාජය කිරීමට හැකි වන්නේ නැත.

යම්කිසි ත්‍රස්තවාදී චූදිතයෙකු උසාවියෙන් වරදකරු කළ පසුත් ත්‍රස්තවාදය ප්‍රසිද්ධියේ හෙළා දැකීම, වින්දිතයන්ට වන්දි ගෙවීම හා ප්‍රචන්ඩත්වය ප්‍රසිද්ධියේම ප්‍රතික්‍ෂේප කිරීම වැනි කාරණා සැලකිල්ලට ගෙන අදාල පුද්ගලයා කළ වරදට හිමි විය යුතු සිර දඩුවම අඩුකළ යුතු යැයි ආණ්ඩුවේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතේ සඳහන් වේ. ඒ අනුව මේ යෝජිත ප්‍රති-ත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයකි. මේ අවස්ථාවේදී මෙවන් පනතක් නීතියක් බවට පත්වුවහොත්, එය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පසු ත්‍රස්තවාදය මර්ධනය කිරීමට සිදුවෙමින් පවතින මෙහෙයුම් වලට මරු පහරක් වනු ඇත. අපේ රට නැවතත් ත්‍රස්තවාදී උවදුරකට ගොදුරුවී ඇති නිසා මේ අවස්ථාවේදී 1947 මහජන ආරක්‍ෂක ආඥාපනතටත්, 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතටත් කිසිඳු වෙනසක් සිදු නොවිය යුතුය. ත්‍රස්තවාදීන්ගේ අයිතීන් වලට වඩා මුල්තැන දිය යුතු වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරැකීමටය.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 මැයි 5

Sinhala Counter Terrorism Law

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව 2019 අප්‍රේල් 25

පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ සහාසික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තත්වය සාකච්චා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීම පිළබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෞරවය පුද කර සිටින අතර ඒ සඳහා සහභාගී වීමට අප පක්ෂය වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පල කර සිටින්නෙමු.
පසුගිය ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවත් ඉන් පෙර,පසු තත්වය පිළිබඳවත් පවතින තත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ආරක්ෂාව සහ ජාතීන් අතර සමගිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට නිරන්තර සූදානමින් සිටින අප පක්ෂයේ අදහස් හා යෝජනා මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපේ දර්ශනය සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන සියලු ශ්‍රී ලංකික පුරවැසි සහෝදරත්වයන්ට තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රැක ගෙන නිදහසේ ජීවත්විය හැකි. සෞභාග්‍යමත් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමයි. ඒ අනුව වාර්ගික සුහදත්වය ආගමික සහජීවනය සහිතව ජිවත්වන නුතන ශ්‍රී ලංකීය ජාතිය නිර්මාණය කිරීම අපේ ඒකායන අපේක්ෂාවයි.

• මානව සමාජයේ අනෙක් සියලු අයිතීන් තියෙන්නේ ජිවත් වීමේ අයිතියට යටින්. ඒ නිසා ජාතික ආරක්ෂාවට ඉහලින් කිසිවක් තියෙන්න බෑ. වාර්ගික සුහදත්වයආගමික සහජීවනය ආදී මේ සියලු යහපත් මානව බැදීම් නිර්මාණය වන්නේ සුරක්ෂිත සමාජ වටපිටාවක් තුළ පමණයි. සංහිදියාව තියෙන්නෙත් ජාතික ආරක්ෂාව නැමති මහා පොදු සාධකය ඇතුලේ.

• නමුත් පහු ගිය කාලේ ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිදියාව අතර ප්‍රතිවිරෝධයක් තිබෙන බවට වූ ආකල්පයක් ඉහල සිට පහලට සමාජ ගත උනා. ඒ ආකල්පය විසින් අන්තිමේදී ජාතික ආරක්ෂාව පිළිබඳව උනන්දු වීම ජාතික සංහිදියාවට එරෙහිවීමක් යන මතය අපේ පොළවේ පැළ කලා. එක හරියට හුස්ම ගැනීම හදවතට අහිතකරයි කියනවා වගේ අවිද්‍යාත්මක විකෘති අදහසක්. දැන සහ නොදැන ඍජුව හා වක්‍රව එකී තත්වය මේ මහා විපතට හේතුවක් උනා.

• අපි අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාව නිසි තැන ස්ථානගත කරන්න කියලා. ජාතික ආරක්ෂාවට හිමි තැන දෙන්න කියලා. ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමේ වගකීම නිසි වෘත්තියභාවයක් සහිත පරිනත සුදුස්සන් අතට පත් කරන්න කියලා.

• ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රමුඛව ජාතික ආරක්ෂාව භාර ආයතන වල බරපතල බිද වැටීමක් අපට නිරීක්ෂණය වුණා. වහාම ජාතික ආරක්ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප්‍රතිව්‍යුහගත කරන්න.

• රාජ්‍ය බුද්ධි සේවා අත්තනෝමතික දණ්ඩනයකට ලක්වී අති බව ප්‍රසිද්ධ කරුණක්. ඒ හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවාවන් අකර්මන්‍ය වෙලා. රාජ්‍යයක පැවැත්ම උදෙසා රාජ්‍ය බුද්ධි සේවාවක ඇති අවශ්‍යතාව වහාම තේරුම් අරගෙන අකර්මන්‍ය කර ඇති රාජ්‍ය බුද්ධි සේවාව යලි සක්‍රිය කරන ලෙස අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

• රැස් කරගන්න ලද තොරතුරු නිශ්චිත දත්ත බවට පත්වෙන්නේ විද්‍යාත්මක පිරිපහදු (Filtering) කිරීමකට පස්සේ. බුද්ධි සේවාවක් විසින් ඉදිරිපත් කරන බුද්ධිමය දත්ත කියන්නේ ඕපා දුප නොවේ. පසුගිය සිදුවීම විශ්ලේෂණය කරද්දී අපට පෙනී යනවා බුද්ධි අංශ දත්තයන්ට සාමාන්‍ය කට කතාවකට ලැබෙන තරමේ වත් වටිනාකමක් ලැබී නොමැති බව. බෙහෙත් ගත්තට වැඩක් නැහැ බෙහෙත් බොන්නේ නැත්නම්. ඒ නිසා ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස භාවිතයට ගැනීම වගකිව යුත්තන්ගේ ප්‍රමුඛතම වගකීමක්.

• ජාතික ව්‍යසනයකින් පසු හැසිරීම. වර්තමාන ආණ්ඩුව වහාම අධ්‍යනය කල යුතුයි. මේ සිද්ධියේදී සිවිල් නායකයින් සහ සාමාන්‍ය මහජනතාව ඉතා දියුණු හැසිරීමක් ප්‍රකට කලා. ඔවුන් හිටියේ වගකිව යුතු බලධාරීන්ට වඩා බොහොම ඉදිරියෙන්.

• මේ වන විට නිර්මාණය වී ඇති තත්වය පාදක කරගනිමින් ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් ඇති කොට ජාතීන් අතර සමගිය පළුදු කිරීමේ කුමන්ත්‍රණයක් 1983 කළු ජූලිය නිර්මාණය කළා සේ මේ මොහොතේ මතු විය හැකි බැවින් ඉතා වගකීමෙන් සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ මූලිකම වගකීම විය යුතුය.

• පාස්කු ඉරිදා ඛේදවාචකය සිදු වූ සැනින් මනුෂ්‍යතත්වයේ නාමයෙන් සහ රාජකාරිමය වගකීමෙන් ඉදිරිපත් වූ අසල්වැසියන්ට, රෝහල් කාර්යමණ්ඩලයන්ට, ආරක්ෂක අංශ නිලධාරීන්ට සියලු අපදා සහන සේවාවන්ට. මෙන්ම පරිත්‍යාගශිලිව සහ කම්පනයන් යුතුව උපකාර කල සැමටත් අපි හිස නමා අචාර කරනවා.

• පළාත් සභා 09 න් 08 ක්ම මේ වන විට නිල කාලය අවසන් වීම හේතුවෙන් මහජන සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතල දුෂ්කරතා පවතිද්දී ඊට මුහුණදෙමින් අපගේ පළාත් පාලන ආයතන සියල්ල මගින් මේ මොහොතට අවශ්‍ය සියලු සේවාවන් ලබාදීම සදහා 24 පැය පුරාම අපගේ මහජන නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන සූදානම් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

2019 අ‌ප්‍රේල් 23

මාධ්‍ය නිවේදනය

2019 අප්‍රේල් මස 23 වෙනි බඳාදා, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා

ගරු කතානායකතුමනි,

මේ ගරු සභාව අද විශේෂ රැස්වීමක් පවත්වන්නේ පසුගිය ඉරිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයන්වලින් පස්සෙ, රටේ අනාගතය ගැන සාකච්ඡා කරන්න. මේ වන විට 300 කට අධික පිරිසක් ඒ ප්‍රහාරයන් වලින් මිය ගිහින් තවත් 500 ක් පමණ තුවාල ලබලා තියෙනවා. මම මේ අවස්ථාවේදී නැවත වතාවක් ඒ මිය ගිය පිරිස වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර, තුවාල වූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා.

අවුරුදු 30ක් පුරා පැවති දරුණු යුද්ධය 2009 මැයි 19 වන දා අවසන් කෙරුවහම අපි කවුරුත් හිතුවේ මෙවැනි සිද්ධීන් නැවතත් දකින්න ලැබෙන්නේ නැති වේවි කියලයි. ඒ යුද්ධය අවසන් වීමේ 10 වන සංවත්සරය අපි සමරන්න හිටියෙ ලබන මාසේ. නමුත් ඒ අවුරුදු 30 ක යුද්ධයේදී වත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදීන් කරපු කිසිදු සැලසුම් සහගත තනි ප්‍රහාරයකදී මේ තරම් දරුණු ව්‍යසනයක් සිද්ධ වුණේ නෑ. කොටි සංවිධානයත් එකවර ස්ථාන කිහිපයකදී බෝම්බ පුපුරවලා තියෙනවා නමුත් ඒවායින් මේ තරම් විනාශයක් කරන්න ඔවුන්ටවත් බැරි වුණා. විචාරකයෝ පෙන්නලා දෙන ආකාරයට මේක තමයි සිවිල් වැසියන් ඉලක්ක කරගෙන දකුණු ආසියාවේ සිදුවුණු දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය. 2008 මුම්බායි ප්‍රහාරයේදීවත් මේ තරම් මරණ ගණනක් සිදු වුණේ නෑ.

මේ තරම් දරුණු ආකාරයට ත්‍රස්තවාදය නැවතත් මේ රටේ හිස එසෙවුයේ කොහොමද කියලා මේ ගරු සභාව සලකල බලන්න ඕන. 2005 නොවැම්බරයේදී මම මුල්වරට ජනාධිපති හැටියට පත් වෙනකොට මේ රටේ නාමිකව සටන් විරාම ගිවිසුමක් තිබුණා. නමුත් කොටි සංවිධානය දිනපතාම ආරක්‍ෂක අංශ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරලා තැන් තැන් වල සෙබළුන් දෙන්න තුන්දෙනා මරනවා. ඔය කාලේ කැබතිගොල්ලෑවේ බස්රථයකට තියපු බෝම්බයක් නිසා සිවිල් වැසියන් විශාල ගණනක් මිය ගියා. මම ගිය ඉරිදා කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියහම මට මතක් වුණේ කැබතිගොල්ලෑවේ සිද්ධිය. කැබතිගොල්ලෑවේ සිද්ධිය නිසා ඒ ප්‍රදේශයේ සිවිල් වැසියන් ගෙන් දැඩි විරෝධයක් අපේ ආණ්ඩුවට එල්ල වුණා.

ජනතාවගේ ජීවිත වල සුරක්‍ෂිත බව වත් සහතික කරන්න බැරි ආණ්ඩුවකින් ජනතාවට වැඩක් නෑ. 2006 ජූලි මාසයේ දී අපි යුද්ධය නැවත ආරම්භ කළේ ඇයි? ඒ කොටි සංවිධානය මාවිල්ආරු සොරොවුව වහලා ඒ පැත්තෙ ගම්මාන විශාල ගණනකට ලැබෙන වතුර ටික කපල දාපු නිසා. මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරල සාමාන්‍ය ජන ජීවිතය වත් පවත්වාගෙන යෑමට සුදුසු වතාවරණයක් ඇති කරන එක ආණ්ඩුවක යුතුකමක්. ඒකයි අපි මාවිල් ආරු සිද්ධියෙන් යුද්ධය පටන් අරගෙන මේ රටේ ත්‍රස්තවාදය ඉවර වෙනකන්ම ආපස්සට හැරී නොබැලුවේ.

2015 ජනවාරියේදී මම නව ජනාධිපතිවරයාට බාර දුන්නේ සම්පූර්ණයෙන්ම සුරක්‍ෂිත රටක්. රටේ ජාතික ආරක්‍ෂාවට මොනම ආකාරයකවත් තර්ජනයක් ඇති නොවෙන විදියට අපි බුද්ධි අංශ ශක්තිමත් කරලයි තිබුණෙ. අපේ අසල්වාසී රටවල වගේම වෙනත් ජාත්‍යන්තර බුද්ධි අංශත් එක්ක ඒගොල්ලෝ කිටුට්වෙන්, සහයෝගයෙන් වැඩකළා. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් තියෙනවයි කිවුවාම අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. අපේ ආණ්ඩුව යටතේ මේ වගේ දෙයක් සිදු වෙන්න කොහොමත්ම ඉඩක් තිබුණේ නෑ.

පාස්කු ඉරිදා සිද්ධ වුණ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මේ ආණ්ඩුව. මේ වගේ සිද්ධියක් සිදුවෙයි කියලා පොලීසියෙන් කලින් දැණුම් දීලා තිබුණා. නමුත් ඒ දැණුම් දීමෙන් පස්සෙ ආණ්ඩුවේ අය කළේ මොනවාද? අඩුම ගානේ ඒ ආගමික සිද්ධස්ථාන වල ප්‍රධානීන්ටවත් දැණුම් දුන්නද? කතෝලික පල්ලියේ හා වෙනත් ක්‍රිස්තියානි පල්ලිවල ප්‍රධානීන්ටත් මේ ගැන දැණුම් දීමක් කෙරුවාද? ඒ ස්ථාන වලට විශේෂ ආරක්‍ෂාවක් සැලසුවාද? බලනකොට මේ එකක්වත් කරලා නෑ. ආණ්ඩුවේ අය කළේ තමුන් ඒ වගේ තර්ජනයට ලක් වෙන ස්ථාන වල නොසිටින්න වගබලා ගන්න එක විතරයි. පාස්කු ඉරිදා වගේ වැදගත් අවස්ථාවක දේව මෙහෙයන් වලට සමාන්‍යයෙන් ආණ්ඩු ප්‍රධානීන්ගේ සහභාගීත්වයක් තියෙනවා. මේ පාර පමණක් එමෙහ කිසිම නියෝජිතයෙක් පල්ලිවල හිටිය බවට පේන්න නැහැ.

ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පස්සෙ මම ඒ ස්ථාන වලට ගියහම, එක ඇමතිවරයෙක් කිවුවා විපක්‍ෂය මේ සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගන්න හදනවයි කියලා. මම ශාන්ත අන්තෝනි දේවස්ථානයට නෙවෙයි, එදා කැබිතිගොල්ලෑවටත් ඔය විදියටම ගියා. මම මේ කතාකරන්නේ කටින් බතල හිටවපු කෙනෙක් හැටියට නෙවෙයි. ඉවර කරන්න බැහැයි කියපු ත්‍රස්තවාදයක් ඉවර කරපු ආණ්ඩුවකට නායකත්වය දුන් පුද්ගලයෙක් හැටියටයි. මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ බලයට පත්වුණු දවසේ ඉදලා කළේ ඒ යුද්ධය අවසන් කරපු විරෝධාර ආරක්‍ෂක අංශ සාමාජිකයන් හා බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන එකයි. මේ අය පහුගිය අවුරුදු හතරේ අපේ රණවිරුවෝ කී දෙනෙක් හිරේ දැම්මද? හිටපු යුද හමුදාපතිවරු, හිටපු නාවික හමුදාපතිවරු, ගුවන් හමුදාපතිවරු කී සැරයක් C.I.D. එකට ගෙන්නලා ප්‍රශ්න කරලා තියෙනවද?

යුද්ධය කාලේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මගේ සහෝදරයෙක් වෙන නිසා ඔහුට දෙන්න පුලුවන් වද සියල්ලම දුන්නා. ඔහුව හිරේ විලංගුවේ දාන්න බැරිවුණේ උසාවියේ මැදිහත් වීම නිසා පමණයි. මම මේ ආණ්ඩුවට කොච්චර කියලා තියෙනවද මේ තියෙන්නෙ රාජපක්‍ෂ වරුන්ගේ ත්‍රිවිධ හමුදාවක් නෙවෙයි, මේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ත්‍රිවිධ හමුදාව. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධි අංශ. මොන පක්‍ෂයේ ආණ්ඩුවක් තිබුණත් මේ රටේ ආරක්‍ෂාව තහවුරු කරන්න ඕන මේ පිරිසමයි. ඒක මේ ගොල්ලෝ තේරුම් ගත්තේ නෑ.

මේ ආණ්ඩුව දැන් දැනගන්න ඕන විදේශීය රටවල් කියන විදියට මේ රට පාලනය කරන්න බෑ කියලා. අපේ රටේ ප්‍රශ්න විසඳගන්න ඕන අපිමයි. විදෙස් රට වලින් එන උපදෙස් අනුව අපේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් අහෝසි කරන්න මේ ආණ්ඩුව ලෑස්ති වුණා. ඒ පනත අහෝසි කරලා තිබුණනම් අද මොනවද වෙන්නෙ? ලංකාවේ ආණ්ඩුවෙන් තමන්ගේම ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ දඩයම් කරමින් සිටිය නිසා මේ රට ත්‍රස්තවාදීන්ට පහසු ඉලක්කයක් වුණා. ලෝකයේ වෙන මොනම රටක්වත් තමන්ගේම ආරක්‍ෂක හමුදාවලට මේ විදියට හිරිහැර කරලා බෙලහීන කරලා නෑ. මේ වගේ දේවල් ත්‍රස්තවාදීන් නිරීක්‍ෂණය කරලා ඒ අනුව සැලසුම් හදනවා.

ඉරිදා සිද්ධියෙන් ඇතිවුණේ, නිලධාරීන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතපසුවීමකින් නොවෙයි. මට දැන් පේනවා කවුරු හෝ නිලධාරියෙක් බිල්ලට දීලා ආණ්ඩුව අත හෝදගන්න හදනවා. මේ සිද්ධීන් ඇතිවුණේ මේ ආණ්ඩුව 2015 ජනවාරියේ ඉඳලම ගෙන ගිය වැඩපිළිවෙල නිසයි. ඒ නිසා, මේ සිද්ධීන් නිසා ඉල්ලලා අස්වෙනවනම් අස්වෙන්න ඕන ආණ්ඩුවයි. ලංකාවේ බුද්ධි අංශවලට දැඩි දඩයමක් එල්ල වී තිබෙන අවස්ථාවක වුණත් ආරක්‍ෂක අංශ විසින් ඉරිදා වෙන්නට යන ප්‍රහාරය ගැන කළින් තොරතුරු දැනගෙන අවශ්‍ය අනතුරු ඇඟවීම් ඇතැම් තැන් වලට යවලා තිබ්බා. ඒක අපි අගය කරන්න ඕන. නමුත් එතනින් එහාට මොනවත් වෙලා නෑ. මගේ ආරක්‍ෂක නිලධාරීන්ටත් ඒ අනතුරු හැඟවීම එවලා තිබුණට ඒගොල්ලෝ මාව දැණුවත් කළේ නෑ ඒ වගේ තර්ජනයක් තිබෙන බව.

ඒ වගේ දෙයක් ගැන මම කළින් දැනගත්තනම් අනිවාර්යෙන්ම මම කාදිනල් තුමාට ඒ බව දැනුම් දෙනවා. මගේ ගමනුත් මම නවත්වනවා. රටේ ජාතික ආරක්‍ෂාව ගැන කටයුතු කරන ආකාරය ගැන නිලධාරීන්ට උපදෙස් දෙන්න ඕන ආණ්ඩුවෙන්. ඒකට තමයි රටවැසියෝ ආණ්ඩු පත්කරගන්නේ. මේ ආණ්ඩුව‍ මුල ඉඳලම ජාතික ආරක්‍ෂාව ගැන නිලධාරීන්ට යවපු සංඥාව තමයි ඒක නොවැදගත් දෙයක් බව. ඒකයි මේ සේරටම හේතුව. මේවා එක පාරට සිද්ධවෙච්ච දේවල් නෙවෙයි. මේ මෑතකදී මාවනැල්ලේදී බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියත්, ඒ ප්‍රදේශයේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිරයෙකුගේ කිට්ටුවන්තයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමත්, පුත්තලමේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් පමණ සොයාගැනීමත්, එකට එකක් සම්බන්ධ බව පේනවා. ඉතින් ඉරිදා ප්‍රහාරය කිසිසේත්ම අනපේක්‍ෂිත ලෙස ඇති වුණාය කියන්න බැහැ. ප්‍රහාරයක් ඇති වෙන්න පුලුවන් කියලා කලින් දැනගෙන ආණ්ඩුව කළේ තමුන්ගේ ආරක්‍ෂාව සලසා ගන්න එක විතරයි.

මේ ත්‍රස්තවාදී ප්‍රහාරය කලින් තිබුණු අවුරුදු 30ක යුද සමයේ සිදුවුණු ප්‍රහාරවලට වඩා සුවිශේෂ මුහුණුවරක් ගන්නවා. එදා හිටපු ත්‍රස්තවාදීන් ලංකාව තුළ විදේශිකයන්ව ඉලක්ක කලේ නෑ. ඒකට හේතුව ඔවුන් ඒ විදේශිකයන්ගේ රටවල්වල ඉදගෙන තමයි ලංකාවේ යුද්ධය කරගෙන යන්න මුදල් හොයා ගත්තෙ. නමුත් දැන් මේ ඇතිවෙලා තියෙන ත්‍රස්තවාදය ලංකාවේ සිවිල් වැසියන් පමණක් නොව විදේශිකයන්වත් කෙලින්ම ඉලක්ක කරන ත්‍රස්තවාදයක්. මේකෙන් සංචාරක ව්‍යාපාරයට විතරක් නෙවෙයි විදෙස් අයෝජනයටත් මරු පහරක් වෙනවා. මේ ත්‍රස්තවාදය ඉතාමත්ම තීරණාත්මක ලෙස පරාජය කරන්න ඕන.

මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රණවිරුවන්ට විරුද්ධව කරන දඩයම දැන්වත් නවත්වන්න. ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හාමුදුරුවන්ගෙත්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙත් ප්‍රධානත්වයෙන් රැස්වුණු සර්ව ආගමික සමුළුවනුත් බුද්ධි අංශ දුර්වල කරන එක නතර කරන්නයි කියලා ආණ්ඩුවෙන් ඉල්ලලා තිබුණා. පහුගිය කාලේ අත්අඩංගුවට ගත්ත ආරක්‍ෂක අංශ නිලධාරීන්ට විරුද්ධව බොහෝ විට හරි හමන් සාක්‍ෂියක් තිබිලා නෙවෙයි ඒගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. යහපාලන ආණ්ඩුව සන්තෝස කරන්න C.I.D. එක ඇතැම් පුද්ගලයන්ට බලපෑම් කරලා ප්‍රකාශක් ලබා ගන්නවා කාට හෝ විරුද්ධව. ඒ ප්‍රකාශ පාවිච්චි කරලා තමයි රණවිරුවෝ ඇතුළට දාන්නේ. මේ විදියට බලපෑම් කරලා ප්‍රකාශ ලබාගත් සමහර සාක‍්ෂි කරුවන් මහේෂ්ත්‍රාත්වරුන් ඉදිරිපිට විශේෂ ප්‍රකාශ කරලා තියෙනවා C.I.D. නිලධාරීන් ඔවුන්ගෙන් මේ ප්‍රකාශ ලබා ගත්ත ආකාරය ගැන.

මේ කැත වැඩේ දැන්වත් නවත්වන්න. විපක්‍ෂයක් හැටියට අපි ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න අදාල රජයේ ආයතන වලට සම්පූර්ණ සහයෝගය දෙනවා. මම මේ අවස්ථාවේදී මහජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා නීතිය අතට ගන්නේ නැතුව, කාටවත් ඇඟිලි දිගු කරන්නැතිව, මේ ප්‍රශ්නය විසදන්න ආරක්‍ෂක අංශ වලට උපරිම සහයෝගය දෙන්න කියලා. ත්‍රස්තවාදීන්ට ආගමක් දහමක් නැති බව අපි මතක තියා ගන්න ඕනේ. මම මේ අවස්ථාවේදී ජනතාව දැනගතයුතු කාරණා ගණනාවක් ගැන ආණ්ඩුවට ප්‍රශ්න කිහිපයක් යොමු කරන්න කැමතියි.

1. ජාතික ඔත්තු සේවයට හා ආරක්‍ෂ කවුන්සිලයට මේ ප්‍රහාරවලට වගකිය යුතු යැයි කියන සංවිධානය ගැන මුලින්ම තොරතුරු ලැබුණේ කවදාද? ඒ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කවරෙක්ද?
2. ඔය කියන සංවිධානය ත්‍රස්තවාදයට යොමු වෙලා තිබෙන බවක් ආණ්ඩුවට තොරතුරු ලැබිලා තිබුණද?
3. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සොයාගැනීම ගැන විමර්ශනය කලේ කවුද?
4. මේ සම්බන්ධයෙන් හිරබාරයට ගත් සැකකරුවන් කවුද?
5. එය ආරක්‍ෂක කවුන්සිලයට වාර්ථා කරනු ලැබුවාද? එසේ කරනු ලැබුවේ කවදාද, කවුරුන් විසින්ද?
6. ඒ ගැන ගත් පියවර මොනවාද? එම සැකකරුවන්ගෙන් කී දෙනෙක් උසාවියට ඉදිරිපත් කරනු ලැබුවාද? කී දෙනෙක් නිදහස් කළාද?
7. එසේ නිදහස් කරනු ලැබූ සැකකරුන් කිසිවෙකුගේ ඉල්ලීමක් මත නිදහස් කරනු ලැබුවේද? එම ඉල්ලීම කළ පුද්ගලයා කවුද?
8. අප්‍රේල් මාසය ඇතුළත ජාතික ආරක්‍ෂාවට ඇතිවීමට යන අවදානමක් ගැන බුද්ධි අංශ වාර්ථා තිබුණාද? ඒ බව ආරක්‍ෂක කවුන්සිලයට වාර්ථා වුණාද? ඒ වාර්ථා කිරීම කලේ කවුද, කවදාද? එම ආරක්‍ෂක කවුන්සිල රැස්වීමට පැමිණ සිටියේ කවුද?
9. මේ ප්‍රහාරයෙන් විදේශීය හස්ථයක් තිබෙන බව තහවුරු වෙලා තියෙනවාද? එසේනම් ඒ විදෙස් පාර්ශවය කවුද?

ස්තුතියි.

පාස්කු දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

මාධ්‍ය නිවේදනයයි

කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.

ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කොට රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්‍රතිවිපාක විදින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙවන් තත්වයකට රට යලි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පල කරන්නෙමු.

රටේ ඇති වෙමින් පවතින අනාරක්ෂිත තත්වයෙන් රට මුදා මුදාගැනීමේ වගකීම රජය වහාම ඉටු කල යුතු බවද අවධාරණය කරමින් ශෝකයට පත් කිතුනු පවුල් වලටත්, සමස්ත කිතුනු ජනතාවටත්, කම්පනයට පත්ව සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවටත් ශෝකය පලකිරීමට මෙය අවස්ථාවක් කරගනිමින්. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ ශෝකය බෙදා ගන්නෙමු.

මේ කණගාටුදායක අවස්ථාවේ ඉතාම සාමකාමීව කටයුතු කරන ලෙසත්, කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවන් වලට හසු නොවන ලෙසත් සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

මහින්ද රාජපක්ෂ
ගරු විපක්ෂ නායක
2019 අප්‍රේල් මස 21 දින.

Media release

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
ශී‍්‍ර ලාංකීය සංස්කෘතිය හා බැදී පවතින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අතීතයේ සිට උත්සවාකාරයෙන් සැමරීමට අපි පුරුදුව සිටිමු.
නමුත් වර්තමාන පාලනයේ අදක්‍ෂ අකාර්‍යක්ෂම කළමණාකරණය හේතුවෙන් රටතුළ සිදුව ඇති ආර්ථික කඩා වැටීම හමුවේ වෙනදා දකින අවුරුදු උත්සවශී‍්‍රය, මෙවර දක්නට නැත. රුපියලේ අගය ඉහළ යාම, ආයෝජකයින් රට හැරයාම ආදී හේතු නිසා මේ වන විට විශාල පිරිසකගේ රැුකියා අහිමිවී ඇති අතර තවත් පිරිසක් රැුකියා අහිමි වීමේ අවධානමට මුහුණ දී සිටියි. එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමත් සමග ආර්ථිකයේ හදවත බදු මහ බැංකුව මංකොල්ල කෑමේ විපාකද මේ වන විට ජනතාවට ගෙවන්නට සිදුව තිබේ. ආණ්ඩුව දිනෙන් දින ජනතාව මත බදු පිට බදු පනවමින් ආණ්ඩුවේ වියහියදම් සොයා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති අතර ජනතා ප‍්‍රශ්න කෙරෙහි හෝ ජනතාව මුහුණ දී සිටින අපහසුතා කෙරෙහි අවධානය යොමු කිරීමක් වත්මන් ආණ්ඩුවෙන් කිසිසේත් අපේක්ෂා කල නොහැකිය.
ගොවි ජනතාවට නෙලාගත් අස්වැන්නට නිසි මිලක් නොලැබෙයි. සුලූ අපනයන භෝග ඇතු`ථ සමස්ත කෘෂි කර්මාන්තයටම අත්ව ඇත්තේ එකී ඉරණමය. ව්‍යාපාර බි`ද වැටිම මෙන්ම සංවර්ධන කටයුතු ද ඇන හිට තිබේ. මේ දුෂ්ඨ පාලනයට බැට දෙන ස්වභාව ධර්මයද, ජනතාව තව තවත් පෙළමින් සිටියි. මහජනතාව සිටින්නේ එදා වේල පිරිමසා ගන්නේ කෙසේදැයි සිතමිනි. මේ නිසා මෙවර සිංහල අලූත් අවුරුද්ද චාරිත‍්‍රවලට පමණක් සීමා කරන්නට සිදුව තිබේ.
එහෙයින් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දේ එකම නැකතකින් වැඩ අරඹා පොදුජන ශක්තිය එක මිටට ගෙන ජනතා දෙ‍්‍රා්හි පාලනය අතුගා දමන්නටත්, මේකී තත්ත්වය වෙනස් කර සශී‍්‍රක සමෘද්ධිමත් රටක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව ජනතාව අත මුදල් රැුදෙන, සැබෑ සංවර්ධනයක් කරා රට මෙහෙයවන්නටත්, අපි එකා වන්ව එක්සිත්ව, පෙළ ගැසෙමු. එළඹෙන අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් කර ගැනීමට අපට ඇති එකම මාර්ගය එය බවට අසල් වාසී නෑ හිතමිත‍්‍රාදී සිලු දෙනා දැනුම්වත් කරමු.

ඔබ සැමට සුභ නව වසරක් වේවා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

සුභ නව වසරක් වේවා.