මේ වසරේ පෙරමුණෙන් ජනාධිපති වරයෙක්..

මේ වසර අවසන් වීමට කලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති වරයෙක් – බැසිල් රාජපක්‍ෂ

2019 වසර අවසන් වීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්‍ෂා කරන බවත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
බැසිල් රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කලේ අද (13) පෙරවරුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසනයේ තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙය හුදු ප‍්‍රකාශයක් පමණක් නොවන බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ගතවන විට වසර 72ක් පැරණි එජාපයටත් වසර 67ක් පැරණි ශ‍්‍රිලනිපයටත් වසර 53 කට වඩා පැරණි ජවිපේටත් සමහර දිස්ත‍්‍රීක්ක වලින් එක් කොට්ඨාසයක් හෝ දිනාගත නොහැකි තත්වයට පත්කිරීමට තම පක්‍ෂයට හැකිවූ බවත් මෙහිදී පෙන්වා දුන් ජාතික සංවිධායක වරයා ඉදිරි ඕනෑම මැතිවරණයකදී දිස්ත‍්‍රීක් 19 ක් තම පක්‍ෂය ජය ගන්නා බවද අවධාරණය කලේය.
එමෙන්ම පසුගිය දින 51 ආණ්ඩුව ලබාගැනීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු සැලසුමක් තමන්ට නොතිබුණු බව මෙහිදී පිළීගත් බැසිල් රාජපක්‍ෂ මහතා දැන් තම පක්‍ෂයට සටන ඇත්තේ රනිල්, සජිත් හෝ නවීන් සමග නොව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කරුවන් සමග පමණක් බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්තාවට ශ‍්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති දිලුම් අමුණුගම,පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් වන ප‍්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, ශ‍්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ගම්පහ දිස්ති‍්‍රක් සභාපති සහන් ප‍්‍රදීප් ඇතුථ පිරිසක් එක්ව සිටියහ.

හැබෑවටම මහින්දට වැරදුණාද?

මහා වැහි කෝඩයක් තුරල්ව ගිය පසු එළැඹෙන ගුප්ත කාලයක් මෙන් කවුරු කවුරුත් තුෂ්නිම්භූතව බලා සිටින්නාක් මෙනි. දේශපාලනය කරද්දී එහෙම වැහි කෝඩ එනවාය. ඒ වගේම ඒවා තුරල් වී යනවාය.

පසුගිය දවස්වල ගත වුණේ එවැනි ගුප්ත කාලයක්ය. කවුරුත් ඒ කාලය තුළ ජීවත් වුණා වුව ඒ වෙච්ච දේ හරිහැටි වටහා ගත්තේ නැතුවා වගේය.

“මහින්ද මහත්තයා මෛත්‍රිගේ ලණුව කාලා අගමැතිකම ගත්තා. ඒ නිසා උගුලක අහුවුණා. තිබුණු ජන ප්‍රසාදය බැස්සා. අනවශ්‍ය දෙයක් කර ගත්තේ. ඒකෙන් වුණේ පොහොට්ටුවේ රැස් වළල්ලත් බැහැලා ගිය එකයි. අපරාදේ වෙච්ච දේ. ඔය අගමැතිකම නොගෙන හිටිය නම් යස අගේට ආණ්ඩුව හිතන්නැති වෙලාවක පෙරළලා මැතිවරණයකට ගිහින් බලයත් අරන් ආණ්ඩුවත් පිහිටුවන්න තිබුණා. අපරාදේ.”

එහෙම කතා වෙන ශ්‍රී ලංකාකාරයෝද පොහොට්ටුකාරයෝද විශේෂයෙන් යූ.එන්.පී.කාරයෝද සිටිති. මේ කවුරු කවුරුත් මහින්ද කරපු දේ ගැන තවම හරියට තේරුම් අරන් නෑ කියා හිතෙන්නේ ඔන්න ඔය වෙලාවටය. ඒ නිසා කාට කාටත් තේරෙන්නත් එක්ක ඇත්තටම මහින්දට වැරදුණා දැයි සොයා බලන්නට වටින්නේය. යහපාලන ආණ්ඩුව යන්න බෝඩ් ලෑල්ලකට සීමා වෙමින් රනිලුත් මෛත්‍රිත් දෙන්නට දෙන්නා විරසකයක නම් උන්නු බව නොරහසකි. මේ විරසකයේ කූටප්‍රාප්ති අවස්ථා කිහිපයක්ම ඇති වූ නමුත් කොයියම් ආකාරයකින් ඒවා සමනය වී රනිල් මෛත්‍රි ආණ්ඩු පූට්ටුව දිගටම ගියේය. ඒ අතර මෛත්‍රිත් හීනියට වචන දෙක තුනක් මුදා හැර නොරොක් වීමේ අංග ලක්‍ෂණ මතු කරමින් උන්නේය. ඇතුළත ගිනි ගන්නා ආකාරයත් එය පිටතට දැනෙන ආකාරයත් මහින්ද බලා උන්නේ නොඉවසිල්ලෙනි. සීරුමාරුවෙනි.

කොහොම නමුත් මෛත්‍රි සහ මහින්ද අතර තිබුණු නොරොක් වීම තුරන් වී එය යම් සම්මුතියක් වෙත ළඟා කරවන්නට අදිසි මෙහෙයුමක් දියත් වුණේය. ඒ කපුකම කළ කපු රාලලාගේ වැඩේ හරි ගිය අතර මහින්දත් – මෛත්‍රිත් අතර අදහස් හුවමාරු වන්නට විය. මේවා කොහොම කෙරුණාද යන්න යූ.එන්.පී.යට සිතා ගන්න බැරි විදියට වැඩ ටික කෙරුණේය.

තීරණාත්මක කාලය එළැඹුණේ රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමත් සමඟය. විශ්වාසභංගය දා මෙහෙයුමෙන් අවසන් මොහොතේ හෝ රනිල් එය ගොඩ දාගන්නා බව මහින්ද දැන උන්නේය. ඒ තරමටම එය තියුණු එකක් වුණේය. මේ සිදුවීම දේශපාලනමය වශයෙන් බෝම්බයක් පුපුරා යන්නට කරුණු කාරණා කිහිපයක්ම සකස් කර දී තිබුණේය. එවිට ඒකාබද්ධයේ මන්ත්‍රිවරු සිටියේ 54කි.

අන්තිමට සිදුවුණේ රනිල් නොසිතූ දෙයකි. එනම් ශ්‍රීලනිපයේ බෑයක් එනම් 16ක් ගැලවී මෛත්‍රිගේ ද නොනිල ආශීර්වාදය මැද විපක්‍ෂයට යෑමය. ඒ අඩව්වෙන් පසු ඒකාබද්ධය තව තවත් ශක්තිමත් වූ අතර දයාසිරි පමණක් ආපිට හැරී ගියේය. එහෙත් ශ්‍රීලනිප 15 සහ ඒකාබද්ධයේ 54 එකතු වීමෙන් විපක්‍ෂයේ ඒකාබද්ධ බළඇණිය ජීවයක් ලැබී එහි පිරිස 69ක් දක්වා ඉහළ ගියේය.

රනිල් – මෛත්‍රි විරසකය ඔඩුදුවා ගොස් තිබුණු හොඳම මොහොතක එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟම දෙබරයට ගල් ගැසුවාක් මෙන් විය. යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව දෙදරා ගිහින් මහින්ද අගමැති වූ අතර මෛත්‍රි ආණ්ඩුවේ නායකයා විය. එය අර්බුදකාරී කාලවකවානුවක් වූ අතර ඒ මැද තව තවත් මෛත්‍රි හා මහින්ද බලවේග වශයෙන් ඒකාබද්ධ විය. ළං විය. එවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් පාර්ලිමේන්තුව තුළ සිටි මුළු පිරිසම 96ක් වීමත් සිදු වුණේය.

අගමැති පදවිය මහින්ද භාර ගත්තේ එය හෙළ වෙන දතක් බව දැන දැනම වුවද කිසිවකුත් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ද ලැබෙමින් තිබිණි. එක්සත් ජාතික පෙරමුණේ ගාල් වූ මන්ත්‍රිවරුන් වූ ආනන්ද අලුත්ගමගේ, විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්.බී. නාවින්න, අශෝක ප්‍රියන්ත මෙන්ම කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ටී.එන්.ඒ. මන්ත්‍රිවරයකු වූ එස්.වියලේද්‍රන් මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ඔහු හා එක් වුණේය. ඒ අනුව රාජ්‍ය නායකයා, ජනාධිපතිවරයා, රනිල් ප්‍රසිද්ධියේම පිළිකෙව් කරමින් මහින්දගේ බලවේගයට එකතු වීමත් යූ.එන්.පී.යේ පවුරු පදනම් බිඳ දමන්නටත් හේතු වුණේය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් අමතර ශක්තියක් ද ලැබී තිබුණේය. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මෛත්‍රි හා මහින්ද ඇතුළු බලවේගයට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රිවරු 96 දෙනාට අමතරව එකතු වූ එ.ජා.ප. – ටී.එන්.ඒ. මන්ත්‍රිවරු 6ත් සමඟ ගණන 102ක් වුණේය. ඒ ස්වාධීනව ඉන්නා අතුරලියේ රතන හිමියන්ට අමතරවය.

නැවත යූ.එන්.පී.ය ආණ්ඩුව පිහිටුවීමත් සමඟ විජිතමුනි ද සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, ඒ.එච්.එම්. පවුසි, පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර ඒ පැත්තට එකතු වුණත් ප්‍රධාන විපක්‍ෂයේ සංයුතිය 96ක්ව දැන් මහින්ද සමඟ සිටියි.

එතැනින් යූ.එන්.පී.යේ කොන්ද කැඩුණු අතර රනිල්ට තමන් වටා සිටි පිරිස රැක ගන්නට හතර අතේ වඳින්නට සිදුවිය. වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් ආවා ගියෝ ගානට වැටුණු අතර එයින් යූ.එන්.පී.ය තුළ තිබූ අර්බුදයද කැපී පෙනුණේය. එය එළිපිට පෙනෙන්නට ඉඩ සැලසුණේය. රනිල් කොයි තරම් කලබලයට පත් වුණා ද කියතොත් බලන බලන අත සිටින තමන්ගේම මිනිසුන් සියලු දෙනාම සැක කරන තරමට මේ දේශපාලන බෝම්බය මහින්ද-මෛත්‍රිගේ සහායෙන් එ.ජා.ප.ය තුළ පුපුරුවා හැර තිබුණේය.

මහින්ද අගමැති වීමත් එ.ජා.ප.ය අර්බුදයකට යැවීමත් යන කාරණා අතර මහින්ද කල්පනා කළේ එතෙක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විසින් ලබා නොදුන් සහන සියල්ල ලබා දෙමින් තව තවත් එ.ජා.ප.ය. ජනතාව අතර අර්බුදයකට යැවීමටය. ඒ අනුව මහින්ද තෙල් මිල දෙවතාවක් අඩු කර ජනතාවට එක පිට එක සහන දෙමින් රනිල් හා එ.ජා.ප.ය දැඩි අසීරුතාවකට පත් කළේය. එයින් ජනතාවට ඒත්තු ගන්වන්නට සැලැස්සුවේ…
“සහන දෙන්න පුළුවන්කම තිබිලත් රනිල්ලා සහන දීලා නෑනේ” යන්නය.

මෙහි තවත් පැත්තක් ඇත. ඒවා කවුරුත් මතු කරන්නේ ද නැත. යූ.එන්.පී.යේ තුන් දෙනකු ගැලවීමත්, ටී.එන්.ඒ. හා යූ.එන්.පී.ය. දෙකක් නොව එකක් ලෙස කටයුතු කරන හිත මිතුරු බලවේග බවත් රටට දැනෙන්නට ඉඩ හසර සැපයුවේ මහින්දය.

මේ ප්‍රවණතා ඇති කරමින් මහින්ද කළ පළමු කාරිය නම් ආණ්ඩුවක් අටවා ගත්තත් එක්සත් ජාතික පෙරමුණට තුනෙන් දෙකේ බහුතර බලයක් නැති කිරීමය. දැන් තිබෙන්නේ යාන්තමින් ජාම බේරා ගන්නට සිදුවන තත්ත්වයකි. ඒ අනුව රනිල්ට මින් මතු හැම තීරණාත්මක මොහොතකම ඡන්දයකට යන්න වෙන්නේ බයෙන් සැකයෙන්ය. අවිනිශ්චිත වාතාවරණයක් මැදය.

මේ සිදුවීම් සියල්ල එකට පෙළ ගැස්වූ විට රනිල්ට එරෙහිව ගෙනා විශ්වාසභංගයෙන් ආණ්ඩුවේ කඩා වැටීම ඇරඹිණි. ශ්‍රීලනිපයේ 16 දෙනෙක් මහින්දට එකතු වූයේ ඒ අනුවය. ඔක්තෝබර් 26 වැනිදා අගමැතිකම භාර ගන්නට මහින්ද ගත් තීරණය නිසා මෛත්‍රි – රනිල් දේශපාලන දීගය සමාප්ත විය.

ඒ නිසා සම්මුතිවාදී ආණ්ඩුවද බිඳ වැටිණි. ඊළඟට එජාපයේ පමණක් නොව දෙමළ සන්ධානයද දෙකඩ විය. ඒ මදිවාට සම්පන්දන්ගේ විපක්‍ෂ නායකකමද අහිමි විය. අධිකරණ තීන්දුවකින් යළි එජාපයට බලය හිමිවුවද ඇමැතිකම් බෙදාගත නොහැකිව ආණ්ඩුව මේ වන විට පඹගාලක පැටලී ඇත. ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයද අහිමි වී ඇත.

ජවිපෙට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ද අහිමි විය. කෙටි කලකට හෝ ආණ්ඩුව භාරගත් මහින්ද තෙල් මිල හා තවත් භාණ්ඩ ගණනාවක මිල අඩු කරමින් දුන් සහන මල්ල නිසා වත්මන් ආණ්ඩුවද සහන නොදී බැරි තැනකට පත් කර ඇත. ඒ අනුව බලන විට වැරදී ඇත්තේ කාටද?

ඒ අනුව ඉදිරියේදී ජනතාව පෙළ ගස්වන මැතිවරණයක් යනුවෙන් මහින්ද දැනටමත් පෙළ ගස්වා තිබෙන බලවේගය සුළුපටු එකක් නොවේ. ජනතාවගේ කැමැත්ත කාට දැයි දන්නා මහින්ද තමන්ගේ වසර 49ක පරිණත දේශපාලනයේ කවුරුත් නොහිතන ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ සිය දිගුකාලීන අත්දැකීම් ගුරුකොට ගනිමින්ය. ඔහු ඒ පන්නරය හීන් සීරුවේ ජනතාව අතරට ගෙන යමින් ඉදිරි ජයග්‍රහණ ස¼දහා පෙළ ගස්වා තිබෙන්නේය. ඒ අනුව හැබෑවටම මහින්ද පැරදුණාද දිනුවාද කියලා කාට කාටත් තේරුම් යන්නේය.

මාගම්පුත්‍ර

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක්

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මත පළකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම් ඇති කිරීමට උත්සහ දරමින් සිටින බවයි.

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී පොදුජන පෙරමුණ තීරණාත්මක බලවේගය වියයුතු බව කංචන විජේසේකර මන්ත්‍රීවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“මීළග ජනාධිපති අපේක්ෂකයා පිලිබද නිරන්තරයෙන් ප‍්‍රශ්න නැගෙනවා. පළාත් පාලන මැතිවරණයේදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ජනවරමක් ලැබිලා තියෙනවා. ඒ සියයට 14 ජනවරම නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදුජන පෙරමුනේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප‍්‍රකාශයක් කළා.

කල්පනා කරලා බැලූවම විවිධ අදහස් තියෙන්න පුලූවන්. ශී‍්‍රලනීපයට වගේම පොදුජන පෙරමුණටත් ඒ වගේ යෝජනා තියෙන්න පුලූවන්. සන්ධානයක් නිර්මාණය වෙනවා නම් ඒ සන්ධානයේ පක්ෂවලට යෝජනා තියෙන්න පුලූවන්.

පොලොවේ යථාර්තයක් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියයට 14 ගන්න වෙලාවේ හිටපු කීදෙනෙක් දැන් ශී‍්‍රලනිපයත් එක්ක ඉන්නවාද කියලා හිතලා බල්ලනත් ඕනේ. මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා.

මේ රටේ බහුතර ජනතාව නියෝජකය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදියට 2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂකයා වුනා.

ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකනු වෙන්න පුලූවන් කියන සැකය අපිට තියෙනවා. පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප‍්‍රධාන පක්ෂය විදියට කටයුතු කලේ.

ඒ පක්ෂයේ මතය තරුණයින්ගේ මතය නියෝජනය විය යුතුයි. ඒ නිසා අපි අපේ පක්ෂයේ නායකයින්ටත් අනතුරු හඟවනවා. එහෙම නොවුනොත් ඡුන්ද පෙටිටයේ ඡුන්ද ගණන් කරද්දි එක දෙක අතර කරට කර ඡුන්දයක් තියෙයි. අපි මේ ගැන සාකච්ඡා කළ යුතුයි. පොලොවේ යථාර්තය එක්ක අපේක්ෂකයා තේරිය යුතුයි.“

සීනිගම දෙවොල් දේවාලයේ

ගරු මහින්ද රාජපක්ෂ මහතා සීනිගම දෙවොල් දේවාලයේ පැවති විශේෂ ආගමික වතාවත් වලට සහභාගි වු අවස්ථාව සහ ගාල්ල කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවති අධ්‍යාපන ප්‍රදර්ශනයට සහභාගි වූ අවස්ථාව..

 

රට බෙදන කදවුරේ ශක්තිය බිදවැටිලා

ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප‍්‍රශ්නයක් වෙලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමක්වත් නොදෙන්න ප‍්‍රවේශම් වෙලා තියෙනවා. එජාපය ඇතුලේ තියෙන ගැටුම් දැන් තීව්ර වෙලා. සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ද්වන්ද යුද්ධයක. ඒ වගේම මංගල සමරවීර හා රවී කරුණානායක ගල උඩ සටනක. රවී කරුණානයක කියලා තිබුණා මෝස්තර කාරයෙකුට මුදල් ඇමැතිකම හරි යන්නේ නැහැ කියලා. මෙහෙම එජාපය ඇතුලේ ප‍්‍රබල ගැටීම් ඇති වෙන කොට මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය ගොඩගන්න බැරිබව මුලූ ලෝකයම දන්නවා. මෙවැනි තත්ත්වයක් යටතේ ණයදෙන ආයතන, ආධාර දෙන ආයතන එන්නේ නැහැ. අවුරුදු 10ට පස්සේ කොටස් වෙලෙදපොලේ අවම දෛනික පිරිවැටුප ජනවාරි 4 වැනිදා වාර්තා වුණා. ඒ යුද්ධය අවසානයේ 2009 ඇති වු තත්ත්වයට සමාන තත්ත්වයක්. රුපියල අවප‍්‍රමාණ වෙමින් යනවා. ආණ්ඩුව චීනය, ජපානය වැනි අපේ රටට ආධාර දීපු මිත‍්‍රශීලි රටවල් තරහ කර ගත්තා. මේ රටවල් සදාකාලිකව ශී‍්‍ර ලංකාවට මිත‍්‍රශීලි රටවල්. රනිල් වික‍්‍රමසිංහ වන්දනාමාන කරන බටහිර රටවලින් අපේ ආර්ථිකයට තල්ලූවක් ලැබුලා නැහැ. ඒ රටවල් අපේ රට සූරාකෑවා විතරයි. අද රනිල් වික‍්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයේ හිරකාරයෙක් වෙලා. ඊළමට පාර කපන ව්‍යවස්ථාව ගේන්න යන්නේ ඒ නිසයි. ඒ නිසයි ආන්ඩුව ඉන්නේ ස්වභාවික මරණයක් අබියසයි කියලා මම කිව්වේ. මරණ තුනක් ඇති මිනිසෙක් පැනිකෑය කිව්වා වගේ මේ ආණ්ඩුවත් මරණ තුනක් අතේ තියාගෙන පැණි කනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ පවතින ඕනෑම මැතිවරණයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජය ගන්නවා.
මහින්ද රාජපක්ස මහතාව විපක්ෂ නායක විදියට පිළිගැනීම රටක් විදියට හොද තත්ත්වයක්. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනත් ඊළමට පාර කපන ක`දවුර පාර්ලිමේන්තුවේ ශක්තිමත් වෙලා හිටියා. ව්‍යවස්ථා දායක සභාවේ හත්දෙනෙක් පත්කරන්නේ අගමැති හා විපක්ෂ නායක. පසුගිය කාලයේ ලංකාවේ ප‍්‍රදාන පත්කිරීම් කලේ රනිල් සම්බන්ධන් කදවුරයි. නමුත් විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබීමෙන් පසුව රටේ පුරවැසියන් සැනසුම් සුසුමක් හෙලූවා මේ ක`දවුර කඩා වැටිලා සැබෑ විපක්ෂයට විපක්ෂ නායකකම ලැබිම ගැන.

පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත‍්‍රා වන්නිආරච්්චි

සිව් වසරක අවපාලනය

මාධ්‍ය නිවේදනය

සිව් වසරක අවපාලනය හා මතු පරපුරට රටක් අහිමි වීමේ අවදානම

2015 ජනවාරි 9 වනදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව රටක් හැටියට තුන් බියකට ගොදුරු වී සිටී. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමණ මොහොතක හෝ දරුණු බිඳවැටීමකට ලක් වීමේ අවදානමයි. මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මස සිට 2014 දෙසැම්බර් මස අවසානය දක්වා ගතවුණු අවුරුදු 60 කට වැඩි කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරි වී තිබුණු මුලු ණය ප්‍රමාණය මෙන් 50%කට වඩා මුදලක් වත්මන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ගතවුණු අවුරුදු හතර ඇතුළත පමණක් ලබාගෙන ඇත. එජාප ආණ්ඩුව ණය ගන්නෙ අපේ ආණ්ඩුව ගත් ණය ගෙවීමට යැයි කීවද, ගත් ණය ගෙවීමට පමණක් ණය ගත්තේ නම්, 2015න් පසු සමස්ථ ණය ප්‍රමාණය වැඩි වීමට නොහැක. නමුත් කලින් ආණ්ඩු ගත් ණය එලෙසම තිබියදී ලංකාවේ මුලු ණය ප්‍රමාණය පසුගිය අවුරුදු හතර ඇතුළත 50%කින් වැඩි වී තිබේ.

2006-2014 අතර අපි රට පාලනය කළ සමයේ මුල් අවුරුදු කිහිපය තුළ රටේ දරුණු යුද්ධයක් පැවතුනි. එයත් සමඟ 2007 ලෝක ආහාර අර්බුදය ඇති විය. 2008-2009 කාලයේ දී 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථීක අවපාතය අපිට අත් විදීමට සිදුවිය. එපමණක්ද නොව 2006 – 2014 කාලයේදී ඉතිහාසයේ පෙර නොවු විරූ ආකාරයට බැරලය ඩොලර් 140 දක්වා එකදිගටම දරුණු ලෙස තෙල් මිලද ඉහල ගියේය. ඒ සියලුම කලබැගෑනි මැදින් වුවත් 2006 – 2014 අතර මුලු අවුරුදු නවය පුරාම රුපියල ඩොලරයට සාපේක්‍ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 28 කින් පමණි. නමුත් පසුගිය අවුරුදු හතර ඇතුළත පෙර කී ආකාරයේ කිසිම අර්බුදයක් නැතුවත් අපේ මුදල් ඒකකය රුපියල් 53කින් අවප්‍රමාණය වී ඇත. අපේ කාලේ තිබුණු 7.4% ක සාමාන්‍ය වර්ධන වේගය අද 3% ටත් පහල තැනකට වැටී ඇත. ජනාධිපතිතුමා තත්වය අවබෝධ කරගෙන මහ මැතිවරණයක් පවත්වා නැවත රට අපට භාරදීමට උත්සාහයක් දැරුවද ඒ උත්සාහය සාර්ථක වුයේ නැත. අපි අද සිටින්නේ ඊළඟ සතියේ, ඊළඟ මාසයේ, ආර්ථිකයට කුමක් වේදැයි නොදන්නා තත්වයකය.

අපි මුහුණ දී සිටින ඊළඟ බිය වන්නේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මුලු පාලන තන්ත්‍රයම බිඳ වැටීමේ අවදානමයි. 19 වන සංශෝධනය නිසා, ආණ්ඩුවක් අයවැය හෝ රාජාසන කතාව පැරදුනත්, විශ්වාස භංග යෝජනාවකින් පැරදුනත් මොනම හේතුවකටවත් අවුරුදු හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක. පාර්ලිමේන්තුවක් යනු විවිධ මතිමතාන්තර, පුද්ගලික උවමනා එපාකම් සහිත සංවිධාන හා පුද්ගලයන් සමූහයකි. පාර්ලිමේන්තු ක්‍රමය ශතවර්ෂ ගණනාවක් තිස්සෙ පරිණාමය වූයේ එවන් පිරිසක් යම්කිසි රාමුවක් තුළ රඳවාගෙන පාලනයක් ගෙන යෑමට හැකි වෙන ආකාරයටය. රටේ පාලනයට බලපෑමක් ඇති වෙන තැනට පාර්ලිමේන්තු ආණ්ඩු පක්‍ෂයක් තුළ මත ගැටුම් ඇති වුවහොත් මැතිවරණයක් කැඳවා ජනතා අභිමතය පරිදි නව පාලනයක් පත් කරගැනීමට ඉඩ හැරීම පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රධානම අංගයක් විය. අවශ්‍ය අවස්ථාවල ජනතාව ඉදිරියට යෑමේ ක්‍රමවේදය දැන් අහුරා තිබෙන නිසා ආණ්ඩු පක්‍ෂයට තමන්ගෙම මන්ත්‍රීවරුන් හා සභාග දේශපාලන පක්‍ෂ යම් රාමුවක් තුළ රඳවාගෙන කටයුතු කිරීමේ හැකියාව හීන වී ඇත.

අපේ රටේ 1952, 1959, 1964, 2001 පාර්ලිමේන්තු විසුරුවීම් සිද්ධ වූයේ පාලක පක්‍ෂය තුළ ඇතිවූ ගැටුම් විසඳීමටය. අවශ්‍ය අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීමට ඇති අවකාශය ඇහිරීම රටකට කෙතරම් අහිතකර දැයි ඉදිරියේදී කාටත් පෙනෙනු ඇත. 1978 ව්‍යවස්ථාව ගැන මූලාරම්භයේ සිටම තිබුණු ප්‍රධානම විවේචනය වූයේ, ජනාධිපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකින් පත් වි සිටින අතර පාර්ලිමේන්තු බහුතරය තවත් පක්‍ෂයකට ගියහොත්, රටේ පාලනය අවුල් වෙන බවයි. මේ තත්වය මඟහැරීමට 1994 දීත්, 2001 දීත් ඇතිවූ පූර්වාදර්ශය වූයේ, බලයේ සිටින ජනාධිපතිවරයෙක් මහ මැතිවරණයක් කැඳවා, යම් හෙයකින් ඔහුට විරුද්ධ දේශපාලන පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ බලය දිනාගතහොත්, ඒ ආසන්න ජනමතයට ගරු කර රටේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් පත්වෙන අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට භාර දී ජනාධිපතිවරයා පසෙකට වී සිටීමයි. අද එවැන්නක් කළ නොහැක.

මහ මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීම ජනාධිපතිවරයාට තහනම් වුවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සමඟ ආණ්ඩු පිහිටුවමින් රට ඉදිරියට ගෙන යෑමේ සම්පූර්ණ වගකීම 19 වන සංශෝධනය විසින්ම පවරා ඇත්තේ එම ජනාධිපතිවරයාටමය. ආණ්ඩුවේ ප්‍රධානියාත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාත්, වන්නේ ජනාධිපතිවරයාමය. එවන් ආණ්ඩුවක් කරන සෑම දේකටම ජනාධිපතිවරයාටද වගකීමට සිදුවේ. කලින් මෙන් ජනවරම ඇත්තේ කාටදැයි උරගා බැලීමට නොහැකි නිසා ආසන්න ජනවරමට ගරුකොට ජනාධිපතිට පාලනයෙන් අයින් වී සිටීමටද දැන් නොහැක. 2018 පලාත් පාලන ඡන්දයෙන් පසු, එජාපයට ජනවරමක් නොමැති බවත්, ඔවුන් දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මඟහරිමින් සිටින්නේ ඒ නිසාම බවත් මුලු රටම දනී. එවන් තත්වයක් යටතේ, ජනාධිපතිතුමාට එජාපයට රට භාරදී පසෙකට වී සිටීමට කොහෙත්තම නොහැක. 19 වෙනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන මේ විකෘතිය නිසා රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වීමේ අවදානමක් ඇත.

අපේ රට ඉදිරියේ ඇති තුන්වෙනි බිය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත්කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාවයි. ආණ්ඩුව එමඟින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍යයන් වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක නවයකට ලංකාව කැඩිමය. අද මධ්‍යයම ආණ්ඩුව සතු සියලුම බලතල ඒ ඒ පලාත් වලට බෙදා දීමට නියමිතය. මේ හැම පලාතකටම වෙනම පොලීසියකුත් ඇති කිරීමට නියමිතය. හදිසි අවස්ථාවකදීවත්, මධ්‍යම ආණ්ඩුවට රටේ සාමය හා ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වෙන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත්, නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමඟින් ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත. මෙම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේද 19 වෙනි සංශෝධනය කෙටුම්පත් කර මුලු රටම අවුල් ජාලාවක් බවට පත් කළ අයමය.

මේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පාර්ශවයම 2017දී පලාත් පාලන හා පලාත් සභා වලට අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අලුත් මැතිවරණ ක්‍රමය ගෙන ඒමට උඩ පැනගෙන කටයුතු කරපු අයම දැන් කියන්නේ ඒ ක්‍රමයට නම් ඉදිරියේ මොනම ඡන්දයක්වත් පවත්වන්න එපා කියලාය. මේ පිරිසම හැඳු අලුත් ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටක් හැටියට ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන් වෙනු ඇත. අපට ආරංචි වෙන ආකාරයට, මේ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව අද මරණ තුනකට මැදි වී සිටි. මෙම තුන් බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ මීට කලින්ද ජයගත නොහැකි යැයි කියූ අභියෝග ජයගෙන ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිඵල පෙන්වා ඇති මගේ නායකත්වය යටතේ ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක -2019 ජනවාරි 9

Sinhala 9 January 2019

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා -නි. කථානායක මැතිසබයට දන්වයි

අජිත් අලහකෝන්,  කුෂාන් සුබසිංහ

විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගැනීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෝල්ටාවේ පවත්වන කථානායකවරුන්ගේ සමු`ථවට සහභාගීවීම සඳහා කරු ජයසූරිය මහතා පිටව ගොස් ඇති නිසා කථානායකවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඉහත නිවේදනය සභාවට දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායකවරයා ඒ බව කීය.

මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා විසින් ලිපියක් එවා ඇතැයිද ඒ අනූව විපක්‍ෂ නායකවරයා ලෙස රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවද කථානායකවරයා තීරණය කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2018 දෙසැම්බර් මස 18 වෙනි දින කථානායකතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගෙන සිටින පිළිගත් දේශපාලන පක්ෂ අතරින් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් සිටින පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් පිළිගැනීම චිරාගත පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පිළිගන්නා ලදී.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.18 දාතමින් යුත් ලිපිය මගින් තම සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරය සඳහා යෝජනා කිරීමට තීරණය කළ බවටද කථානායකතුමා වෙත දැනුම් දී ඇත.

කථානායකතුමාගේ ඉහත කී නිවේදනයෙන් අනතුරුව සහ 2018 දෙසැම්බර් මස 19 වෙනි බදාදා ඉලංගෙයි තමිල් අරසු කච්චිහි නායක ආර්. සම්බන්ධන් මහතා විසින් පාර්ලිමේන්තුව තුළ කරනු ලැබූ විශේෂ ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භය තුළදී පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගැනීම සම්බන්ධයෙන් මතු කරන ලද විවිධ කරුණු සම්බන්ධයෙන් කථානායකතුමාගේ තීරණය මෙම සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

සභාව තුළ මතු කරන ලද කරුණුවල සාරාංශගත හරය වූයේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයේද, ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා නතර වූ අවස්ථාවක ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) ව්‍යවස්ථාවේ (අ) අනු ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනයන් පදනම් කර ගෙනය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.19 දින දරණ ලිපිය මගින් කථානායකතුමාට දන්වා ඇත්තේ මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්ගේ ගැසට් නිවේදනය අනුව තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් (අධිකරණ නියෝග මත ඉවත්වූ මන්ත්‍රීතුමිය හැර) සියලු දෙනාම තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවයි.

මෙම කරුණ පිළිබඳව ගරු කථානායකතුමා විසින් ගැඹුරෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, තීරණය කර ඇත්තේ යම් මන්ත්‍රීවරයෙකුගේ අසුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට අනුකූලව නීතිය ක්‍රීයාත්මක වීම මගින් අහිමිවීම පිළිබඳව හෝ යම් මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීම, ඉල්ලා අස්වීම පිළිබඳ වන සිද්ධිමය කාරණා හෝ තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානවලට අනුකුලව කථානායකතුමාගේ බලසීමාවට අදාළ කාරණයක් නොවන බවයි. එසේම, කථානායකතුමා අවධාරණය කර සිටින්නේ ඉහත කී කාරණා පිළිබඳව නිශ්චය කිරීමට බලය අධිකරණය සතු කාර්යභාරයක් වන බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම කරුණු සොයා බැලීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස යෝජනාවක් භාර දී ඇත.

එම කරුණ පිළිබඳවද කථානායකතුමා විසින් සලකා බලනු ලදුව, පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී් කණ්ඩායමක් විසින් එහි සුළුතරයක් නියෝජනය කරන කණ්ඩායමක, අභ්‍යන්තර කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා වන යෝජනාවක් පිළිගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට එකඟ නොවන සහ පටහැනි වන බවටද දැනුම් දී ඇත.

ජොලියක් ගන්න ඇමති පොරය..!

2018 වර්ෂය අවසාන භාගයේ රටම කතාවුන මාතෘකාවක් වුනේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු. ව්‍යවස්ථාව ආරක්ෂා කරමු වගේ දේවල්. මහා හයියෙන් ඒ දේවල් කියපු අය අද ප්‍රජාතන්ත්‍රවදාය ආරක්ෂා කරලාද නැද්ද කියන ප්‍රශ්නය රට ඉදීරියේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවදයේ හිරු දෙවියෝ රනිල් වික්‍රමසිංහ සදූ දෙවියෝ අනුර කුමාර” තරු දෙවියෝ සුමන්රදීන්. මේ දෙවිවරු කලේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රනිල් වික්‍රමසිංහ නැවත බලයට පත්කිරීමයි. පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියලා බලාපොරොත්තු දූන්නා. බලාපොරොත්තු කඩවෙලා හිටපු එජාපයේ කට්ටිය හිතුවා රනිල් වික්‍රමසිංහ කියන්නේ දැන් අලූත් නායකයෙක් කියලා. ඒ වුනාට දැන් බලද්දී පරණ රනිල්ම තමයි. පාක්ෂීකයාටවත් තමන්ගේ මිනිස්සුන්ටවත් කන්නො රනිල් වික්‍රමසිංහ එයාගේ ගමන යනවා. අනුර කුමාරගෙන් අහන්න තියෙන්නේ ඔබට දැන් සතුටුයිද කියලා තමයි.
කිරිපිටි පැකට්ටුවක් රුපියල් 135කින් වැඩි කරන්න ඉල්ලීම් ඇවිත්. මිල වැඩි නොකලොත් කිරිපිටි ගෙන්වීම නතර කරන්න වෙනවාලූ. කිරිපිටි කිලෝවකට රුපියල් 170ක් බදූ ගෙවනවාලූ. කිරි දරුවන්ට දෙන කිරි ටිකෙන් බදූ ගහන ආණ්ඩුවක්. නමුත් කතා කලේ සක්‍ර දේවියන් වඩම්මලා ෂක්‍ර දෙවියන්ට කරන්න බැරිදේත් කරනවා වගෙයි. ගෑස් සිලින්ඩරයකට රුපියල් 378ක් වැඩි කරන්න ගෑස් සමාගම් ඉල්ලා තිබෙනවා. මේ විදීයට 2019 කියන්නේ ජිවත් වෙන්න හැකියාවක් තියෙන වසරක් වෙයිද? මේ දවස්වල ඇමැති පොරයක් ඇති වෙලා. ඉස්සර අපි ආණඩුව කරද්දී ආණඩුව විවේචනය කරන්නේ විපක්ෂය. දැන් ආණ්ඩුවට බනින්නේ ආණඩුවමයි. හිටපු මුදල් ඇමැති” වත්මන් විදුලි බල ඇමැති කියනවා කිසිම හැකියාවක් නැති අය පක්ෂයට ඇවිත් අපිව පක්ෂයෙන් එළවන්න හදනවාලූ. කේවට්ටයෙක් පක්ෂයේ ඉන්නවාලූ. මේ කේවට්ටයා මලික් සමරවික්‍රමයි. මේ ආණඩුවේ ඉන්න අය එකිනෙකාට බැන ගන්නවා. කම්බ හොරු කියනවා. පහුගිය මහින්ද රාජපක්ෂ අගමැති සමයේ ජාතික ආණඩුවක් නෙවෙයි තිබුනේ. ජාතික ආණඩුවක් නම් විතරයි ඇමැතිවරු තිහකට වැඩිවෙන්නේ. ඒ දවස්වල කිසිම කෙනෙක් ඇමැති තනතුරු වලට පොරකෑවේ නැහැ. අපි කිව්වේ අපිට ඇමැතිකම් එපා කියලයි. ආදර්ශය අපි පෙන්නුවා. අනුර කුමාර දීසානායකට මේ ආණඩුවේ දේවල් පේන්නේ නැහැ. ෆොන්සේක තෙවරප්පෙරුම රණ්ඩුවක් තියෙනවා. ඒ කතා ඇතුලේ මේ රටේ අතුරුදහන් වුනු අය මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ගැන කියැවෙනවා. ඒ ගැනයි හොයලා බලන්න ඕනේ. ඇයි නිහඩ. දැන් ඇත්ත එළියට එනවා. ජවිපේ කට්ටිය දැන් ආයෙත් විද්වත් සභාවක් පටන් අරන්. සරත් ෆොන්සේකා හොදයි කියලා ජනාධිපති ඇදූම ඇන්දූවේ ජවිපෙයි. ජවිපේ තීන්දූ ගැන රටේ මිනිස්සුන්ට දැන් හොදට තේරෙනවා. රට අස්ථාවර තීන්දූ ගන්නේ ජවිපෙයි.

-පාර්ලිමේන්තු මන්තී්‍ර රෝහිත අබේගුණවර්ධන

පොහොට්ටුවේ අපි රට පුරාම වැඩ

මං පොහොට්ටු සාමාජිකයෙක්.. ශ‍්‍රීලනිපය අතහැරියා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයද..- බැසිල් හෙලි කරයි..
තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තමන් 2015 ජනවාරි මාසයේදී අත්හැරි බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වසර තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේ ජනතාවගේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන් ඇමැතිවරයා එසේ බිහි වූ ලාබාලතම පක්ෂය අද වන විට මේ රටේ අංක එකේ පක්ෂය වී ඇති බවත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත ගම සමඟ පිළිසඳරක් සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට මිනුවන්ගොඩ දී 05 වැනි දා එක්වෙමිනි.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරෙන ගම සමඟ පිළිසඳරක් සමාරම්භක සම්මන්ත්‍රණය මිනුවන්ගොඩ දී සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ උදා වෙලා තියෙන්නේ නව වසරක්. මේ නව වසර මැතිවරණ වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මේ අවුරුද්ද තුළ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් වගේම පළාත් සභා මැතිවරණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. ඒ නිසා මේක තීරණාත්මක වර්ෂයක් ලෙසත් හඳුන්වන්න පුළුවවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මතයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවට රටේ තිබෙන ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා තිබුණු වෙලාවක තමයි පොදුජන පෙරමුණ බිහිවුණේ. පොහොට්ටුව ලකුණෙන් රට හමුවට ආ පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම ජයග්‍රාහී ගමනක නියැළුණා.

ඒකට හොඳම උදාහරණය තමයි 2018 පළාත් පාලන මැතිවරණය. ඒ මැතිවරණයේ දී අපේ මේ ලාබාල පක්ෂය දැවැන්ත පක්ෂ සියල්ල පරදවමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය නිසා තමයි රටේ ගමන් මඟ වෙනස් වුණේ කියන එක අපි පැහැදිලිව කියන්න ඒනේ.

මේ වන විට පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙනවා. ඒ සාකච්ඡා සියල්ල බොහෝ දුරට දැන් අවසන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම තවත් පක්ෂ ගණනාවක් දැන් අපේ මාවතට පිවිස තිබෙනවා. ඒක සන්තෝෂයට කාරණයක්.

අද වන විට රට තුළ ක්‍රියාකාරීම පක්ෂය බවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණයි. ගම් මට්ටමින් ශාඛා සමිති හදලා ක්‍රියාකාරී සාමාජිකත්වයක් ඇති එකම පක්ෂ අපේ පොදුජන පෙරමුණ කියන එක අපි ආඩම්බරයෙන් කියනවා. ඒ නිසා මීළඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම අපට ගැටලුවක් නෙමෙයි.

සමහරු අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒක අපි ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. අපේ අරමුණ ජයග්‍රහණය නම් අපේක්ෂකයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මහින්ද මහත්තයා තෝරලා දෙන ඕනෙම අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවන්න අපි සූදානම්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා

මට මතකයි අපි බැසිල් මහත්තයා එක්ක එකතු වෙලා පොහොට්ටුව පක්ෂයක් විදියට හදාගෙන යන විට සමහරුන් අපට හිනා වුණ හැටි. සමහරු කිව්වා ඕක කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුවක් කියලා. සමහරු කිව්වා වැඩි කලක් යන්න ඉස්සර පොහොට්ටුව නට්ටං වෙනවයි කියලා. ගොඩක් අය අපි දිහා බැලුවේ පිස්සෝ රැලක් දිහා බලන විදියටයි.

හැබැයි දැන් හැමෝටම පොහොට්ටුවේ අගය තේරිලා තියෙනවා. පොහොට්ටුව තමයි මේ රටේ ලොකුම පක්ෂය බවට දැන් පත්වෙලා තියෙන්නේ. අපිට ලක්ෂ 50 ඉක්ම වූ දැවැන්ත ජනබලයක් තියෙනවා. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී රටටම ඔප්පු කරලා පෙන්වන්න අපට හැකිවුණා.

2019 කියන්නේ අපට තවත් ජයග්‍රාහී වසරක්. මම එහෙම කියන්නේ 2019 වසරේ පැවැත්වෙන්නට නියමිත මැතිවරණ දිහා බලලයි. ඒ සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න අපිට හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි හැමෝම දැන් පොහොට්ටුව වටේ පෙළගැහෙන්න පටන් අරගෙන තිබෙන්නේ.

හැමෝටම ඕනේ වෙලා තියෙන්නේ පොහොට්ටුව සමඟ සන්ධාන ගත වීමටයි. අපේ පැත්තට එන ඕනෙම කෙනෙක් පිළිගන්න අපි සූදානම් වුණත් කිසිම අවස්ථාවක පොහොට්ටුව පර වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රතිඥාව මම තමුන්නාන්සේලාට දෙනවා. කාටවත් පොහොට්ටුව විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ඒ නිසා මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ විය යුත්තේ පොහොට්ටුවයි. පොහොට්ටුව තමයි අපේ ජය ලකුණ. අපිට මෙතරම් ජයග්‍රහණ ලැබුණේ ඒ ලකුණ නිසයි. ඒ නිසා කිසිම අවස්ථාවක අපි අපේ ජය ලකුණ අතහරින්න සූදානම් නැහැ. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න නම් අපට පොහොට්ටු ලකුණ අනිවාර්යෙන්ම ඕනේ කියන එකත් අපි බැසිල් මැතිතුමාට මතක් කරන්න කැමැතියි.