This is the government that did not do anything in history

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ 

පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්‍ෂගේ භූමිකාව මොකක්ද?

මම ඇත්තටම පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් පමණයි. නමුත් කාර්යභාරය ඉෂ්ට කිරීමේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අනෙක් සියලුම දෙනාගේ උපදෙස් පරිදි පළාත් සභා, ප්‍රාදේශීය සභා කණ්ඩායම් එකතු වෙලා ගමේ ඉන්න අපේ විවිධ ජන කොටස් එක්ක පක්‍ෂය නිර්මාණය කිරීමේ කාර්යය කටයුතු කළේ මම.

ඔබේ වත්මන් දේශපාලන භූමිකාව කුමක්ද?

දේශපාලන භූමිකාව… ඇත්තටම අපි පවුලක් හැටියට එදා සිට දේශපාලනයේ නිරත වුණා. පාසල් යන යුගයේ සිට 1970 ළාබාලම මන්ත්‍රිවරයා හැටියට මහින්ද රාජපක්‍ෂ මහතා සිටි වෙලාවේ අපි පාසල් ශිෂ්‍යයෝ ලෙස දේශපාලනයට පිවිසුණා. පසුව පක්‍ෂයේ උප ලේකම් ධුර අරගෙන ජාතික සංවිධායක ධුර දක්වා ගමන් කර අද වනවිට නව දේශපාලන ප්‍රවාහයකට පැමිණ සිටිනවා.

ඔබ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. ”ඇත්තටම මහින්ද නැතිව ගෝඨාභය ආවොත් මමයි ආණ්ඩු කරන්නේ” කියලා. ඔබ මෙවැනි ප්‍රකාශයක් කළාද? ඒ වගකීමෙන්ද?

ඒ ගැන මම හිතන්නේ අපි කතා කරන්න ඕනේ නැහැ. ඒක ඔය අර්ථයෙන්ම කිව්වාද නැද්ද කියලා මට හරියටම කියන්න බැහැ.

නමුත් එහි අර්ථය මොකක්ද?

සාමාන්‍යයෙන් අපි ආණ්ඩුවක් පිහිටෙව්වම ඒ ආණ්ඩුව පිහිටුවීමට වැඩ කරන පුද්ගලයෝ අභිභවලා වෙනත් පිරිස් ඉස්සරහට එනවා කියන එකට සහතිකයක් තමා ඒ දීලා තියෙන්නේ. එයින් අදහස් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැත්නම් එහි ඉන්න දැවැන්ත සංවිධාන ව්‍යුහය ඉදිරියේදී යම්කිසි කාර්යභාරයක් ඒ ආණ්ඩුව තුළ කරනවායි කියන එක.

මම ඔබෙන් සෘජුවම අහනවා. ඊළඟ ජනපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂද? බැසිල් රාජපක්‍ෂද?

ඒක මට හරියට කියන්න බෑ. බැසිල් රාජපක්‍ෂ නොවන බව පමණක් කියන්න පුළුවන්. අපේක්‍ෂකයා පිළිබඳව තීන්දුව ගන්න ඕනෑ පක්‍ෂයක් තියෙනවා. ඒ වගේම සන්ධානයක් තියෙනවා. අපේ සහෝදර පක්‍ෂ එක්ක, ඒ වගේම එහි නායකත්වය සපයන්නේ මහින්ද හිටපු ජනාධිපතිතුමා. එතැනදී මේ සහෝදර පක්‍ෂත් අපේ පක්‍ෂයත් අතර තියෙන මතය තමයි ජනතාව ඉල්ලන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා. එයා තමයි රටේ නායකයා විය යුත්තේ කියන මතය තියෙන්නේ.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුට නැවත ජනපති විය නොහැකියි?

ඔව්, ඒ අවස්ථාව නැති කර තිබෙනවා. මේක යූ.එන්.පී. එක අද ඊයේ කළ දෙයක් නෙවේ. මේක සිරිමාවෝ බණ්ඩාරනායකට පළමු වැනි ජනාධිපති මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන ගෙනා ප්‍රජා අයිතිය නැති කළා. ඒ වගේම තමයි මේ කරලා තියෙන්නේ. අපේ යුතුකමක් තියෙනවා එතුමාට ඒ සුදුසු අපේක්‍ෂකයා තෝරා ගැනීමේ අයිතිය ලබාදෙන්න.

නමුත් පක්‍ෂයක තීන්දු තීරණ ගත යුත්තේ පක්‍ෂ නායකත්ව මණ්ඩලය මිස පවුලේ් සහෝදරයෙක් විසින් නෙවේ නේද?

නෑ. එතුමා තමයි අපේ පරමාදර්ශී නායකයා. අපේ පක්‍ෂය හැටියට අපි තීන්දු කරලා තියෙනවා මහින්ද රාජපක්‍ෂ තමයි ජනපති විය යුත්තේ. නමුත් ඔහු නොවන නිසා ඒ බලතල ඔහුට පවරලා තියෙනවා.

ඔබ එක් අවස්ථාවක කිව්වා මගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්න මම සූදානම් නැහැ. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ක්‍රියාමාර්ග ගනීවි කියලා. මේ කියන්නේ ඊළඟ ජනපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ කියලද?

නෑ. ඒකත් මට කියන්න බෑ. මම නොකරන දේ තමයි මට කියන්න පුළුවන්. මම ඒ ගැන සලකා බැලීමක් නෑ. මොකද මම විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව විසින් අපෙන් පළිගැනීම සඳහා පුද්ගලයන් කිහිප දෙනෙක් ඉලක්ක කරගෙන ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක්.

ඔබ වගකීමෙන්ම කියනවා මම ජනපති අපේක්‍ෂකයා නොවේ කියලා. නමුත් ඔබම කියනවා මම ඉදිරිපත් නොවුණත් අපේක්‍ෂකකමට නුසුදුස්සෙක් නොවෙයි කියලා.මොකක්ද මේ නොකියා කියන්නේ?

ඒකෙන් කියන්නේ අපේක්‍ෂකයෙක් වීමට සුදුසු අය අපේ ගොඩක් ඉන්නවා කියන එක.

ඒ කියන්නේ රාජපක්‍ෂවරු අතර?

රාජපක්‍ෂවරුත් ඉන්නවා. රාජපක්‍ෂ නොවන අයත් ඉන්නවා.

2019 ජනාධිපතිවරණයේ දිනන අපේක්‍ෂකයා කවුද කියා තීරණය කරන මහ මොළකරු මහින්ද රාජපක්‍ෂ නොවෙයි. බැසිල් රාජපක්‍ෂ කිව්වොත්?

ඒක මම කියන්නේ නෑ. මහින්ද හිටපු ජනාධිපතිතුමාට පුද්ගලයෙක් හැටියට එවැනි දෙයක් කළ හැකි වගේම, අපි පක්‍ෂයක් හැටියට අපේ බලපෑමකුත් තියෙනවා. ඒක නැහැයි කියන්න බෑනේ. අපි ප්‍රබල දේශපාලන පක්‍ෂයක් බවට පත් වෙලා ඉන්නවා. අපේ පක්‍ෂයේ පරමාධිපත්‍ය තියෙන්නේ සාමාජිකයන්ට. අපේ ව්‍යවස්ථාව අනුව නායකත්වයට නොවෙයි. ඒ අනුව පක්‍ෂයක් හැටියට වගේම අනෙක් පක්‍ෂවලටත් ඒ අයිතිය තිබෙනවා. අන්න ඒකයි අදහස් කරන්නේ. අපිට පොදු තීන්දුවක් තියෙනවා. ඔබ ඇහුවා වගේ කොහොමද මෙයා තනිවම තීන්දු කරන්නේ කියලා. ඇත්තටම තනියෙන් තීන්දු කරන්නේ නෑ. නමුත් අපි තීන්දුවක් අරන් තියෙනවා, එතුමාට ඒ තීන්දුව ගන්න බලය දෙන්න. සමහර විට සභාවකින් ඒකමතිකව තීන්දු කරනවා සභාවේ බලය කාටහරි දෙන්න. එවැනි දෙයක්.

පළමු වතාවට පසුගිය 4දා ඔබේ කාර්යාලයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණියා. එක්තරා අන්දමකින් මෙය යම් ආන්දෝලනයට තුඩු දෙන්නක්. කොහොමද ඔහුගේ පැමිණීම සහ භූමිකාව ඔබ දකින්නේ?

ඔව්. අපිට ඒක ලොකු ගෞරවයක්. ශක්තියක්. අපේ පක්ෂයට මෙතෙක් කල් ශ්‍රී ල.නි.ප.යටවත් වෙන කිසිම දේශපාලන පක්‍ෂයකටවත් නොලැබිච්ච වරප්‍රසාදයක් හයියක් අපට ලැබුණා.

පසුගිය දිනෙක ඔබ එක්තරා පුවත්පතකට කියලා තිබුණා ”මමයි, ගෝඨාභයයි යම් එකඟතාවකට ආවා” කියලා. එහි ප්‍රතිඵලයක්ද මේ?

එහෙම නොවෙයි. අපේ පක්‍ෂයේ සභාපතිතුමා එතුමාට ආරාධනා කළා. අපේ කාර්යාලයට එන්න කියලා. ඒ අනුව එතුමා ආවා.

ඉදිරියේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා බොහෝ දුරට ඔබ කාර්යාලයේදී දකින්නට ලැබේවි එහෙනම්?

අපි කැමැතියි එතුමා වැඩි වැඩියෙන් එනවට.

ඒ පැමිණි එකඟතාව මොකක්ද?

එකඟතාව කියන්නේ අපි පෞද්ගලිකව යම් යම් තීන්දුවක් ගත යුතුයිනේ. ඒ කියන්නේ පැහැදිලිව අපි දෙන්නගෙන් කවුද….

ජනපති අපේක්‍ෂකයා?

නෑ, ජනපති අපේක්‍ෂකයා නෙවෙයි. දේශපාලන වශයෙන් ගත්තොත් බොහෝම ලේසි තීන්දුවක්. පෞද්ගලිකව බැලුවොත් මේක අමාරු තීන්දුවක්.

තීන්දුවක් කියලා ඔබ කියන්නේ මොකක්ද?

අපේ පුරවැසිභාවය අහිමි කර ගන්න එක. ඒ තුළ අපට දැනටමත් මම අත්විඳින ප්‍රධානතම දෙයක් තමයි මගේ පවුලෙන් මාව වෙන් කරලා තියෙනවා. එවැනිම දෙයකටත් හිටපු ආරක්‍ෂක ලේකම්තුමාටත් මුහුණ දෙන්න වේවිද දන්නේ නෑ. මොකද ඔබ දන්නවා සමහර අයට, ඇමෙරිකාවට අපේ නාමල් මන්ත්‍රිතුමාට ඇතුළු වීමට නොහැකි වුණා තිබූ වීසා එක හරහා ඥාතියකුගේ මරණයකට. එතකොට රාජපක්‍ෂවරුන් මෙරට කුරිරු ත්‍රස්තවාදය නැති කිරීම නිසා අපේ මෙහෙය ජනතාව හරහා දඬුවමක් ලෙස පරාජය අත්වූවා පමණක් නොවෙයි අපි ආණ්ඩුවේ ඉන්න කාලේ සිට පෞද්ගලිකව යම් යම් කරදර හිරිහැරවලට මුහුණ දෙන්න සිදු වුණා. අපි විතරක් නෙවේ අපේ පවුල්වල දේශපාලනයට සම්බන්ධ නැති මගේ දරුවන්ට පවා ඒවට මුහුණපාන්න වුණා. රණවිරුවන්ගේ අයටත්, මම දන්නවා සරත් ෆොන්සේකා මහතාටත් ඇමෙරිකාවට ඇතුළු වීමට නොහැකි වුණා කිහිප වතාවක්. එවැනි ඒවට මුහුණ පෑවා. දැනට අපිට එය නතර කරන්න බැරි හේතුව අපේ පුරවැසිභාවය. එය පරිත්‍යාග කරනවා කියන එකම ලොකු පරිත්‍යාගයක්. ජනතාවට එය පටවන්නේ නෑ. නමුත් මම දන්නවා මම මොන තරම් වේදනාවකද ඉන්නේ කියලා. උදය ගම්මන්පිල මහතාටත් ඔය ප්‍රශ්නය ආවා. හුඟක් දෙනෙක් මානසික පීඩනයට ලක් වෙලා. මම නම් වශයෙන් කියන්නේ නැහැ.

යම් හෙයකින් මහින්ද රාජපක්‍ෂ මහතා කිව්වොත් ‘බැසිල්, ඊළඟ ජනපති අපේක්‍ෂකකමට ඔයා ඉදිරිපත් වෙන්න’ කියලා ඔබ ඇමෙරිකානු පුරවැසිකම කැප කරනවාද?

නෑ.

ඔබ පැහැදිලිවම එය කියනවා?

නෑ. මම ඉල්ලන්නේ නෑ. ඒක බොහෝ දුරට ගන්න අමාරු තීන්දුවක් තමයි. මහින්ද හිටපු ජනාධිපතිතුමාට තීන්දුවක් ගන්න අපේ පක්‍ෂය බලය දීලා තියෙනවා නම් ගන්න තීන්දුවකට අපි යට වෙන්න ඕනෑ.

ඔබට එල්ල වුණු ලොකුම චෝදනාව තමයි ජනාධිපතිවරණය පැරැදුණු ගමන් රට පැන්න බැසිල් රාජපක්‍ෂ අද රට ගොඩනඟන්න කතා කරනවා කියලා?

පරාජය වුණා කියන්නේ රට ගොඩනැඟීමෙන් අපි ඉවත් කළානේ අපි වැරැදිය කියලා. ඒක අපි බොහොම ගෞරවයෙන් පිළිගත්තා. එච්චරයි වුණේ. ඉන්පසු අපිට ඉන්න බැහැනේ. ගෙවල් ‍ෙදාරවල්වල අගුළු දාලා අපි නිල කාමරවලින් එළියට දැම්මා. මගේ පවුල ඉන්නෙත් මගේ ඉන්න නිවෙස තියෙන්නෙත් ඇමෙරිකාවේ. ඒකට නැතිව මම කොහෙද යන්නේ?

එහෙම නැතිව පවුල අතර ඇතිවූ විරසකකමකට නෙමේද?

මොකක්ද විරසකකම?

මැතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ල නිවෙසට ගිය පසුදා ඔබත් තංගල්ලට ගොස් විපක්‍ෂ නායකකම ඉල්ලුවේ නැද්ද?

ඒක සම්පූර්ණ අසත්‍යයක්.

ඔබ ඇමෙරිකාවට ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් සිටියදී. ඔබ එහි ගියත් පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති වින්දා නේද?

මම විතරයි පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ කිසිම වරප්‍රසාද නොවින්ද කෙනා. මම ඒවා දේශපාලන ආයුධයක් කර ගත්තේ නෑ. ඒ වරප්‍රසාද අතරින් වාහන බලපත්‍ර පවා නොගත්ත කෙනා තමයි මම.

ඒ කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රි වැටුප ඔබ ගත්තේ නෑ කියලද කියන්නේ?

නෑ. ඒ කාලය තුළත් ඒ කියන්නේ මම ජනවාරි 11 හෝ 12 ගියේ. මම අප්‍රේල් 21දා ආවා. ආපු දවසේම මා අත්අඩංගුවට ගත්තා. පොඩ්ඩක් අත්අඩංගුවට යන කාලය මාස 3කින් විතර පහුවුණු එක විතරයි වුණේ. ආණ්ඩුව කොහොමත් මාව අත්අඩංගුවට අරගන්න කටයුතු කළා. තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් ආකාරය මම දැක්කා. මමත් මනුස්සයෙක්නේ. මගේ ආරක්‍ෂාව මම විසින් සපයා ගත්තා. ජේ.ආර්. ජයවර්ධන මහතා කියපු විදියටම මාත් තීරණය කළා.

2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම වෙනම ඉල්ලන්න තිබුණා නේද?

මම ඒ තීරණයට මැදිහත් වුණේ නෑ. ඒ වෙලාවේ පැවැති දේශපාලන වාතාවරණය තුළ එවැනි තීරණයක් ක්‍රියාත්මක වෙන්න ඇති.

ඔබ ඒ ගැන දරන අදහස කුමක්ද?

ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික දේශපාලන තීන්දුවක්. මම මැදිහත් වුණේ නෑ. ඒ වෙලාවේ ඒ අය සුදුසුම තීන්දුව ගන්න ඇති. මොකද මම රිමාන්ඩ් එකේ ඉඳලා එළියට ආවෙ ඒ කාලෙ.
නමුත් ඔබ පක්‍ෂයේ නායකයෝ කිව්වේ ඒ වෙලාවේ වැඩි ප්‍රමාණයක් තනිව යමු කියලා.

ඒත් එදා ඔබ සුසිල් ප්‍රේමජයන්ත් සහ අනුර යාපා මහත්වරුන් සමඟ ගිහින් මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කරගත් සාකච්ඡාවකට පසු නේද එකට යන්න තීරණය කළේ?

නෑ. මම ඒකට මැදිහත් වුණේ නෑ. එතකොට රිමාන්ඩ් එකේ හිටියේ. රිමාන්ඩ් එකේ ඉඳලා එළියට ආවා විතරයි. ඒ දිනවල දේශපාලන කටයුතුවල යෙදුණේ නෑ. ඔය සමහර මත දරන්නේ වෙනත් පරමාර්ථවලින්. ඒවාට උත්තර දෙන්න ඕන නෑ. ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ මම කුමන තීන්දුවක් ගන්නවාද ගන්න එක නෙවේ, තීන්දුව ගත්තට පස්සේ ඒ තුළ අපේ හිතවත් පිරිස්වලට අසාධාරණයක් නොවෙන්න පුළුවන් තරම් උත්සාහ ගත්තා. එවැනි මැදිහත් වීමක් පමණයි වුණේ.

ඔබ පොහොට්ටුව ගෙනත් ලංකාවේ දේශපාලන දාම්පෙත ඔබට ඕනෑ විදියට වෙනස් කරගත්තා නේද?

ඔව්. ඒක හින්දා තමයි දින්නේ. එහෙම හැසිරෙව්වේ නැත්නම් මෙහෙම දිනන්නෙත් නෑ.

රාජපක්‍ෂලාගේ කවුරු බලයට ආවත් රටේ ආර්ථික මර්මස්ථාන ටික නැවත ඔබ අතට පත් කරගන්න නේද මේ වෑයම. මොකද ගිය පාලනයේදීත් ජාතික අය-වැයෙන් වැඩිම පංගුවක් තිබුණේ ඔබ අතේ?

ආර්ථික සංවර්ධන ඇමැතිවරයා හැටියට මම වගකීමක් භාර ගත්තා. ඒ වගකීම මම හරියට කළා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඒ වෙලාවේ වැඩිම මනාප හාරලක්‍ෂ විසිපන්දහසකටත් වැඩිය ගත්තෙ මම. ඒ අනුව මට වගකීමක් භාර දුන්නා. ඒ වගකීම හරියටම ඉටු කරමින් ආර්ථිකය ඉහළටම නැංගුවා. එහිදි වූ එකම වෙනස අනෙක් අමාත්‍යාංශවල තීන්දු ගන්නේ නැතිව, ඒ තීන්දු ගමේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රි දක්වා සිට ඉහළට මගේ සියලු බලතල පැවැරුවා.

ඒ වගේම එදා ජාතික අය – වැය අයියා මලෝ බෙදා ගත්තට පසු අනෙක් ඇමැතිවරුන්ට කිසිවක් නෑ කියලයි ඔවුන් හූල්ල හූල්ල හිටියේ. නැවත එවැනි තැනකටද මේ පත් කරන්න යන්නේ?

නෑ. ඒකට චෝදනා තිබුණා. ජනතාව තීන්දුවක් දුන්නා. ඒ වගකීම අපි ගන්න ඕනේ. මොකද ඕක අලුත් කතාවක් නෙවේ. සෝභිත හාමුදුරුවන්ගේ ඉඳලා හැමෝම කියපු දෙයක්. ඒවටනේ ජනතාව තීන්දුවක් ගත්තේ. නැවත උත්තර බඳින්න අවශ්‍ය නෑ.

ලංකාව ඩොලර් බිලියන 8000ක ණය උගුලක හිර කරපු රාජපක්‍ෂ පවුල කොහොමද රට ගොඩනඟන්නේ? මේ චෝදනාවට ඔබට දැන් සෘජු පිළිතුරක් දිය හැකියි?

අපි කිසිම ණය උගුලක රට හිර කළේ නෑ. කිසිම දූෂණයක් නෑ. අපි ගත්තා කියලා කිසිම චෝදනාවක් නෑ මේ දක්වා. මට අධිකරණයේ නඩු කිහිපයක් තියෙනවා. එකක් ප්‍රාදේශීය සභාවට GI බට දුන්නා කියලා. GI බට විතරක් නොවේ, තව ගොඩක් ඒවා දුන්නා. ඕනෑ නම් ඒවටත් නඩු දාන්න පුළුවන්. ප්‍රේමදාස මහත්තයා ලක්‍ෂයක් නිවාස හැදුවයි කියලා එතුමාට සම්මාන දුන්නා. මම එකොළොස් ලක්‍ෂයකට නිවාස හදන්න දුන්නු ආධාර මුදලට නඩු දාලා. අනෙක් එක ණය බරක් තිබුණා නම් ඒ ආණ්ඩු කාලේ ඉතාම හොඳට ලංකාවේ අපේ ආණ්ඩුවලට IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව විතර සහතික දීලා නෑ තවත්. ශ්‍රේණිගත කිරීම් ඉහළට ගියා. මේ ආණ්ඩුව විසින් ඒ ශ්‍රේණිගත කරන ආයතන පහළට දාලා. සියලු බර, යුද්ධය තිබූ රටක් එදා මහින්ද රාජපක්‍ෂ මහතා භාර ගත්තේ. හැමට රැකියා තියෙන, අධිවේගී මාර්ග, ගුවන් පාලම්, ගමට පාරක් සහිත රටක් එතුමා භාර දුන්නා.

පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හරහා ප්‍රබල චෝදනාවක් රාජපක්‍ෂ පවුලට එල්ල වුණා, මැතිවරණයට චීන සමාගමකින් ඩො.මි. 7.6ක මුදල් ගත් බවට. මෙය අසත්‍ය නම් ඇයි නඩු මඟට නොයෙන්නේ?

මම නම් ඒ ගැන දන්නේ නෑ. මම නඩු මඟට යන්න තීරණය කර නැහැ. හැමදාම සතියේ දවස් දෙක තුනක් උසාවියේ ඉන්නේ. තවත් අපි නඩු දාලා යනවාද නැද්ද කියන එක මගේ පැත්තෙන් සිදු වෙන්නේ නෑ. නඩු දානවා නම් අපේ පැත්තෙනුත් බොහෝ දේවල් තිබෙනවා කරන අපහාසවලට. බලමු ඉතින් ඒ වෙලාව ආවම.

ඔබ එක් අවස්ථාවක යාපනයට ගිය වෙලාවක කිව්වා රටේ යුද අපරාධ පිළිබඳ. නමුත් ඔබ කඳවුරේ බොහෝ දෙනෙක් එය බැහැර කරනවා. එහි ගැටලුවක් තිබෙනවා නේද?

යුද අපරාධ නොවෙයි මම කියන්නේ ආණ්ඩුව යම් කිසි කෙනෙක්ගේ පෞද්ගලික ඉඩමක් අත්පත් කරගෙන ඉන්නවා නම් ඒ ඉඩම් ඔවුන්ට දිය යුතුයි. චීනෙට අක්කර 15,000ක් දෙන්න පුළුවන් නම් මේ රටේ පුරවැසියන්ට පර්චස් 15ක් දෙන්න බැරි ඇයි? එහෙම නැතිව යුද අපරාධ ගැන චෝදනා කරන අය නෙවේ, මම තමයි යාපනේ ජනතාවට කෑම ටික, තෙල්, බෙහෙත් ටික ඇරියේ. රණවිරුවන්ගේ යම් යම් දේවල්වලට මැදිහත් වුණෙත් මම. ඔය කතා කරන කිසි කෙනෙක් ඒ වෙලාවේ උතුරට යන්න සූදානමක් තිබුණේ නෑ.

කතා කරන කිසි කෙනෙක් කියලා ඔබ චෝදනා කළේ මෙන පාර්ශ්වයටද?

කවුරු වුණත් ඔය කතාව කියනවා නම් මොන පාර්ශ්වයත් මට එකයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාව ඉහළටම නැඟ තිබූ මොහොතක බැසිල් රාජපක්ෂ හිටියත් නැතත් මැතිවරණය දිනන බවට මන්ත්‍රි විමල් වීරවංශ එක් අවස්ථාවක කියා තිබෙනවා. මේක ඔබට ලොකු පහරක් නේද?

මම එය කිසිම අභියෝගයකට ලක් කරන්නේ නෑ. අපි දෙන්නා දේශපාලන පක්‍ෂ දෙකක. ඔහු අපට ඉතා වැදගත් සාධකයක්. පක්‍ෂ දෙකක වුණත් එකම පිලේ. අපි අතර අසමඟියත් නෑ. එවැනි අසමඟිකම් එක්ක ඉදිරියට යන්න බෑ.

ඔබ බොහොම සූක්ෂ්ම ලෙස නේද උත්තර දෙන්නෙ?

පොදු තීන්දුවලදී මං මගේ මතයේ හිටියා. අදහස් ප්‍රකාශ කළා. සමහර වෙලාවට මට ‍දොස් ආවා, සාමූහික තීන්දුව මගේ තීන්දුවක් කියලා. නමුත් මං හිතුවා එහෙම වුණොත් ඒක මටත්, අපේ ගමනටත් හොඳ නෑ. මං මගේ දේ අවංකව කියනවා. හැබැයි දැන් මට හිතෙනවා එහෙම එළිපිට කියන එක හොඳ නෑ. මෙතන ඉඳලා මගේ අවංක අදහස් මං මීට පසු කියන්නෙ නෑ කියලා හිතුවා.

ඒ වගේම ඔබ සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර වෙනස ලෙස බොහෝ අය දකින්නේ සුළු ජාතික ඡන්ද පදනම? ඔබ මෙය දකින්නේ කොහොමද?

පළාත් පාලන ඡන්දයට තරග කළේ මමවත් ගෝඨාභය මහතාවත් නෙවේ. අපි විශිෂ්ට ජයක් ලැබුවා. නමුත් දකුණේ සමහර ප්‍රදේශවල මුස්ලිම් හා වතුකර ඡන්ද අපට ලැබුණේ නෑ. ඔතන ප්‍රශ්නයක් තිබෙන්නේ අපි දෙන්නාගේ නෙවේ. එවැනි ප්‍රශ්නයක් සමස්ත පොදුජන පෙරමුණටම අයත් වෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා. අපි එක් ආගමකට හෝ එක් ජාතියකට සීමා වූ පක්‍ෂයක් නෙවේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ඔබට සෘජු චෝදනාවක් එල්ල කළා. විල්පත්තු වන සංහාරය ගැන. ඔහු කිව්වේ මේකට වගකිව යුත්තේ කිසිවෙක් නොවෙයි බැසිල් රාජපක්‍ෂ කියලා?

විනාශයක් මම දන්නේ නෑ. මොකද පසුගිය 3දා සරත් ෆොන්සේකා මහතාම වර්තාවක කිව්වා එහෙම එකක් වෙන්නේ නෑ කියලා. මම පැහැදිලිව කියනවා අපේ ආණ්ඩු කාලය තුළ විල්පත්තු වන භූමියට කිසිවකුට ඇතුළු වෙන්න ඉඩ දුන්නේ නෑ. නමුත් විල්පත්තුවෙන් හුඟක් එහාට මෝදරගංආරුවලින් එහා පැත්ත ඒ ප්‍රදේශවල පාරම්පරිකව ජීවත් වෙච්ච පුද්ගලයන්ට දුන්නා නිවාස හැදීමට. නැවත පදිංචි කිරීමේ වගකීම දරපු කෙනා ලෙස මම ඒකට වගකිව යුතු නම් ඔය කියන විදියේ දෙයක් අපේ කාලේ වෙලා නෑ.

වත්මන් ආණ්ඩුව ගැන ඔබට මොකද හිතෙන්නේ?

අද රටක ආණ්ඩුවක් හැටියට කිසිවක් නොකරන නොකරපු ආණ්ඩුවක් තිබුණා නම් ලංකා ඉතිහාසයේ ඒ මේ ආණ්ඩුව තමයි. රටේ ආරක්‍ෂාව, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය පළමුව රැක ගත යුතුයි. එය රජ කාලේ සිට එන දෙයක්. මේ ආණ්ඩුව අස්ථාවරයි. පරාජිතයි. විනය නීති, පාලනය බිඳවැටිලා. මේ අය වරප්‍රසාද විඳිනවා. මහජනයාට කිසිම කාර්යයක් කරන්නේ නෑ.

 

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://basilrajapaksa.com/wp-content/uploads/2019/01/හෙට-ගැන-හිතන2-1920X1080px.jpg);background-size: cover;background-position: right bottom;background-attachment: scroll;background-repeat: no-repeat;}#stuning-header div.page-title-inner {min-height: 870px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}