2019 අප්‍රේල් 23
මාධ්‍ය නිවේදනය
2019 අප්‍රේල් මස 23 වෙනි බඳාදා, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා
ගරු කතානායකතුමනි,
මේ ගරු සභාව අද විශේෂ රැස්වීමක් පවත්වන්නේ පසුගිය ඉරිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයන්වලින් පස්සෙ, රටේ අනාගතය ගැන සාකච්ඡා කරන්න. මේ වන විට 300 කට අධික පිරිසක් ඒ ප්‍රහාරයන් වලින් මිය ගිහින් තවත් 500 ක් පමණ තුවාල ලබලා තියෙනවා. මම මේ අවස්ථාවේදී නැවත වතාවක් ඒ මිය ගිය පිරිස වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර, තුවාල වූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා.
අවුරුදු 30ක් පුරා පැවති දරුණු යුද්ධය 2009 මැයි 19 වන දා අවසන් කෙරුවහම අපි කවුරුත් හිතුවේ මෙවැනි සිද්ධීන් නැවතත් දකින්න ලැබෙන්නේ නැති වේවි කියලයි. ඒ යුද්ධය අවසන් වීමේ 10 වන සංවත්සරය අපි සමරන්න හිටියෙ ලබන මාසේ. නමුත් ඒ අවුරුදු 30 ක යුද්ධයේදී වත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදීන් කරපු කිසිදු සැලසුම් සහගත තනි ප්‍රහාරයකදී මේ තරම් දරුණු ව්‍යසනයක් සිද්ධ වුණේ නෑ. කොටි සංවිධානයත් එකවර ස්ථාන කිහිපයකදී බෝම්බ පුපුරවලා තියෙනවා නමුත් ඒවායින් මේ තරම් විනාශයක් කරන්න ඔවුන්ටවත් බැරි වුණා. විචාරකයෝ පෙන්නලා දෙන ආකාරයට මේක තමයි සිවිල් වැසියන් ඉලක්ක කරගෙන දකුණු ආසියාවේ සිදුවුණු දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය. 2008 මුම්බායි ප්‍රහාරයේදීවත් මේ තරම් මරණ ගණනක් සිදු වුණේ නෑ.
මේ තරම් දරුණු ආකාරයට ත්‍රස්තවාදය නැවතත් මේ රටේ හිස එසෙවුයේ කොහොමද කියලා මේ ගරු සභාව සලකල බලන්න ඕන. 2005 නොවැම්බරයේදී මම මුල්වරට ජනාධිපති හැටියට පත් වෙනකොට මේ රටේ නාමිකව සටන් විරාම ගිවිසුමක් තිබුණා. නමුත් කොටි සංවිධානය දිනපතාම ආරක්‍ෂක අංශ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරලා තැන් තැන් වල සෙබළුන් දෙන්න තුන්දෙනා මරනවා. ඔය කාලේ කැබතිගොල්ලෑවේ බස්රථයකට තියපු බෝම්බයක් නිසා සිවිල් වැසියන් විශාල ගණනක් මිය ගියා. මම ගිය ඉරිදා කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියහම මට මතක් වුණේ කැබතිගොල්ලෑවේ සිද්ධිය. කැබතිගොල්ලෑවේ සිද්ධිය නිසා ඒ ප්‍රදේශයේ සිවිල් වැසියන් ගෙන් දැඩි විරෝධයක් අපේ ආණ්ඩුවට එල්ල වුණා.
ජනතාවගේ ජීවිත වල සුරක්‍ෂිත බව වත් සහතික කරන්න බැරි ආණ්ඩුවකින් ජනතාවට වැඩක් නෑ. 2006 ජූලි මාසයේ දී අපි යුද්ධය නැවත ආරම්භ කළේ ඇයි? ඒ කොටි සංවිධානය මාවිල්ආරු සොරොවුව වහලා ඒ පැත්තෙ ගම්මාන විශාල ගණනකට ලැබෙන වතුර ටික කපල දාපු නිසා. මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරල සාමාන්‍ය ජන ජීවිතය වත් පවත්වාගෙන යෑමට සුදුසු වතාවරණයක් ඇති කරන එක ආණ්ඩුවක යුතුකමක්. ඒකයි අපි මාවිල් ආරු සිද්ධියෙන් යුද්ධය පටන් අරගෙන මේ රටේ ත්‍රස්තවාදය ඉවර වෙනකන්ම ආපස්සට හැරී නොබැලුවේ.
2015 ජනවාරියේදී මම නව ජනාධිපතිවරයාට බාර දුන්නේ සම්පූර්ණයෙන්ම සුරක්‍ෂිත රටක්. රටේ ජාතික ආරක්‍ෂාවට මොනම ආකාරයකවත් තර්ජනයක් ඇති නොවෙන විදියට අපි බුද්ධි අංශ ශක්තිමත් කරලයි තිබුණෙ. අපේ අසල්වාසී රටවල වගේම වෙනත් ජාත්‍යන්තර බුද්ධි අංශත් එක්ක ඒගොල්ලෝ කිටුට්වෙන්, සහයෝගයෙන් වැඩකළා. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් තියෙනවයි කිවුවාම අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. අපේ ආණ්ඩුව යටතේ මේ වගේ දෙයක් සිදු වෙන්න කොහොමත්ම ඉඩක් තිබුණේ නෑ.
පාස්කු ඉරිදා සිද්ධ වුණ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මේ ආණ්ඩුව. මේ වගේ සිද්ධියක් සිදුවෙයි කියලා පොලීසියෙන් කලින් දැණුම් දීලා තිබුණා. නමුත් ඒ දැණුම් දීමෙන් පස්සෙ ආණ්ඩුවේ අය කළේ මොනවාද? අඩුම ගානේ ඒ ආගමික සිද්ධස්ථාන වල ප්‍රධානීන්ටවත් දැණුම් දුන්නද? කතෝලික පල්ලියේ හා වෙනත් ක්‍රිස්තියානි පල්ලිවල ප්‍රධානීන්ටත් මේ ගැන දැණුම් දීමක් කෙරුවාද? ඒ ස්ථාන වලට විශේෂ ආරක්‍ෂාවක් සැලසුවාද? බලනකොට මේ එකක්වත් කරලා නෑ. ආණ්ඩුවේ අය කළේ තමුන් ඒ වගේ තර්ජනයට ලක් වෙන ස්ථාන වල නොසිටින්න වගබලා ගන්න එක විතරයි. පාස්කු ඉරිදා වගේ වැදගත් අවස්ථාවක දේව මෙහෙයන් වලට සමාන්‍යයෙන් ආණ්ඩු ප්‍රධානීන්ගේ සහභාගීත්වයක් තියෙනවා. මේ පාර පමණක් එමෙහ කිසිම නියෝජිතයෙක් පල්ලිවල හිටිය බවට පේන්න නැහැ.
ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පස්සෙ මම ඒ ස්ථාන වලට ගියහම, එක ඇමතිවරයෙක් කිවුවා විපක්‍ෂය මේ සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගන්න හදනවයි කියලා. මම ශාන්ත අන්තෝනි දේවස්ථානයට නෙවෙයි, එදා කැබිතිගොල්ලෑවටත් ඔය විදියටම ගියා. මම මේ කතාකරන්නේ කටින් බතල හිටවපු කෙනෙක් හැටියට නෙවෙයි. ඉවර කරන්න බැහැයි කියපු ත්‍රස්තවාදයක් ඉවර කරපු ආණ්ඩුවකට නායකත්වය දුන් පුද්ගලයෙක් හැටියටයි. මේ ආණ්ඩුව 2015 ජනවාරි මාසයේ බලයට පත්වුණු දවසේ ඉදලා කළේ ඒ යුද්ධය අවසන් කරපු විරෝධාර ආරක්‍ෂක අංශ සාමාජිකයන් හා බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන එකයි. මේ අය පහුගිය අවුරුදු හතරේ අපේ රණවිරුවෝ කී දෙනෙක් හිරේ දැම්මද? හිටපු යුද හමුදාපතිවරු, හිටපු නාවික හමුදාපතිවරු, ගුවන් හමුදාපතිවරු කී සැරයක් C.I.D. එකට ගෙන්නලා ප්‍රශ්න කරලා තියෙනවද?
යුද්ධය කාලේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මගේ සහෝදරයෙක් වෙන නිසා ඔහුට දෙන්න පුලුවන් වද සියල්ලම දුන්නා. ඔහුව හිරේ විලංගුවේ දාන්න බැරිවුණේ උසාවියේ මැදිහත් වීම නිසා පමණයි. මම මේ ආණ්ඩුවට කොච්චර කියලා තියෙනවද මේ තියෙන්නෙ රාජපක්‍ෂ වරුන්ගේ ත්‍රිවිධ හමුදාවක් නෙවෙයි, මේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ත්‍රිවිධ හමුදාව. ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධි අංශ. මොන පක්‍ෂයේ ආණ්ඩුවක් තිබුණත් මේ රටේ ආරක්‍ෂාව තහවුරු කරන්න ඕන මේ පිරිසමයි. ඒක මේ ගොල්ලෝ තේරුම් ගත්තේ නෑ.
මේ ආණ්ඩුව දැන් දැනගන්න ඕන විදේශීය රටවල් කියන විදියට මේ රට පාලනය කරන්න බෑ කියලා. අපේ රටේ ප්‍රශ්න විසඳගන්න ඕන අපිමයි. විදෙස් රට වලින් එන උපදෙස් අනුව අපේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් අහෝසි කරන්න මේ ආණ්ඩුව ලෑස්ති වුණා. ඒ පනත අහෝසි කරලා තිබුණනම් අද මොනවද වෙන්නෙ? ලංකාවේ ආණ්ඩුවෙන් තමන්ගේම ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ දඩයම් කරමින් සිටිය නිසා මේ රට ත්‍රස්තවාදීන්ට පහසු ඉලක්කයක් වුණා. ලෝකයේ වෙන මොනම රටක්වත් තමන්ගේම ආරක්‍ෂක හමුදාවලට මේ විදියට හිරිහැර කරලා බෙලහීන කරලා නෑ. මේ වගේ දේවල් ත්‍රස්තවාදීන් නිරීක්‍ෂණය කරලා ඒ අනුව සැලසුම් හදනවා.
ඉරිදා සිද්ධියෙන් ඇතිවුණේ, නිලධාරීන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අතපසුවීමකින් නොවෙයි. මට දැන් පේනවා කවුරු හෝ නිලධාරියෙක් බිල්ලට දීලා ආණ්ඩුව අත හෝදගන්න හදනවා. මේ සිද්ධීන් ඇතිවුණේ මේ ආණ්ඩුව 2015 ජනවාරියේ ඉඳලම ගෙන ගිය වැඩපිළිවෙල නිසයි. ඒ නිසා, මේ සිද්ධීන් නිසා ඉල්ලලා අස්වෙනවනම් අස්වෙන්න ඕන ආණ්ඩුවයි. ලංකාවේ බුද්ධි අංශවලට දැඩි දඩයමක් එල්ල වී තිබෙන අවස්ථාවක වුණත් ආරක්‍ෂක අංශ විසින් ඉරිදා වෙන්නට යන ප්‍රහාරය ගැන කළින් තොරතුරු දැනගෙන අවශ්‍ය අනතුරු ඇඟවීම් ඇතැම් තැන් වලට යවලා තිබ්බා. ඒක අපි අගය කරන්න ඕන. නමුත් එතනින් එහාට මොනවත් වෙලා නෑ. මගේ ආරක්‍ෂක නිලධාරීන්ටත් ඒ අනතුරු හැඟවීම එවලා තිබුණට ඒගොල්ලෝ මාව දැණුවත් කළේ නෑ ඒ වගේ තර්ජනයක් තිබෙන බව.
ඒ වගේ දෙයක් ගැන මම කළින් දැනගත්තනම් අනිවාර්යෙන්ම මම කාදිනල් තුමාට ඒ බව දැනුම් දෙනවා. මගේ ගමනුත් මම නවත්වනවා. රටේ ජාතික ආරක්‍ෂාව ගැන කටයුතු කරන ආකාරය ගැන නිලධාරීන්ට උපදෙස් දෙන්න ඕන ආණ්ඩුවෙන්. ඒකට තමයි රටවැසියෝ ආණ්ඩු පත්කරගන්නේ. මේ ආණ්ඩුව මුල ඉඳලම ජාතික ආරක්‍ෂාව ගැන නිලධාරීන්ට යවපු සංඥාව තමයි ඒක නොවැදගත් දෙයක් බව. ඒකයි මේ සේරටම හේතුව. මේවා එක පාරට සිද්ධවෙච්ච දේවල් නෙවෙයි. මේ මෑතකදී මාවනැල්ලේදී බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියත්, ඒ ප්‍රදේශයේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිරයෙකුගේ කිට්ටුවන්තයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමත්, පුත්තලමේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් පමණ සොයාගැනීමත්, එකට එකක් සම්බන්ධ බව පේනවා. ඉතින් ඉරිදා ප්‍රහාරය කිසිසේත්ම අනපේක්‍ෂිත ලෙස ඇති වුණාය කියන්න බැහැ. ප්‍රහාරයක් ඇති වෙන්න පුලුවන් කියලා කලින් දැනගෙන ආණ්ඩුව කළේ තමුන්ගේ ආරක්‍ෂාව සලසා ගන්න එක විතරයි.
මේ ත්‍රස්තවාදී ප්‍රහාරය කලින් තිබුණු අවුරුදු 30ක යුද සමයේ සිදුවුණු ප්‍රහාරවලට වඩා සුවිශේෂ මුහුණුවරක් ගන්නවා. එදා හිටපු ත්‍රස්තවාදීන් ලංකාව තුළ විදේශිකයන්ව ඉලක්ක කලේ නෑ. ඒකට හේතුව ඔවුන් ඒ විදේශිකයන්ගේ රටවල්වල ඉදගෙන තමයි ලංකාවේ යුද්ධය කරගෙන යන්න මුදල් හොයා ගත්තෙ. නමුත් දැන් මේ ඇතිවෙලා තියෙන ත්‍රස්තවාදය ලංකාවේ සිවිල් වැසියන් පමණක් නොව විදේශිකයන්වත් කෙලින්ම ඉලක්ක කරන ත්‍රස්තවාදයක්. මේකෙන් සංචාරක ව්‍යාපාරයට විතරක් නෙවෙයි විදෙස් අයෝජනයටත් මරු පහරක් වෙනවා. මේ ත්‍රස්තවාදය ඉතාමත්ම තීරණාත්මක ලෙස පරාජය කරන්න ඕන.
මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රණවිරුවන්ට විරුද්ධව කරන දඩයම දැන්වත් නවත්වන්න. ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හාමුදුරුවන්ගෙත්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙත් ප්‍රධානත්වයෙන් රැස්වුණු සර්ව ආගමික සමුළුවනුත් බුද්ධි අංශ දුර්වල කරන එක නතර කරන්නයි කියලා ආණ්ඩුවෙන් ඉල්ලලා තිබුණා. පහුගිය කාලේ අත්අඩංගුවට ගත්ත ආරක්‍ෂක අංශ නිලධාරීන්ට විරුද්ධව බොහෝ විට හරි හමන් සාක්‍ෂියක් තිබිලා නෙවෙයි ඒගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. යහපාලන ආණ්ඩුව සන්තෝස කරන්න C.I.D. එක ඇතැම් පුද්ගලයන්ට බලපෑම් කරලා ප්‍රකාශක් ලබා ගන්නවා කාට හෝ විරුද්ධව. ඒ ප්‍රකාශ පාවිච්චි කරලා තමයි රණවිරුවෝ ඇතුළට දාන්නේ. මේ විදියට බලපෑම් කරලා ප්‍රකාශ ලබාගත් සමහර සාක‍්ෂි කරුවන් මහේෂ්ත්‍රාත්වරුන් ඉදිරිපිට විශේෂ ප්‍රකාශ කරලා තියෙනවා C.I.D. නිලධාරීන් ඔවුන්ගෙන් මේ ප්‍රකාශ ලබා ගත්ත ආකාරය ගැන.
මේ කැත වැඩේ දැන්වත් නවත්වන්න. විපක්‍ෂයක් හැටියට අපි ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න අදාල රජයේ ආයතන වලට සම්පූර්ණ සහයෝගය දෙනවා. මම මේ අවස්ථාවේදී මහජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා නීතිය අතට ගන්නේ නැතුව, කාටවත් ඇඟිලි දිගු කරන්නැතිව, මේ ප්‍රශ්නය විසදන්න ආරක්‍ෂක අංශ වලට උපරිම සහයෝගය දෙන්න කියලා. ත්‍රස්තවාදීන්ට ආගමක් දහමක් නැති බව අපි මතක තියා ගන්න ඕනේ. මම මේ අවස්ථාවේදී ජනතාව දැනගතයුතු කාරණා ගණනාවක් ගැන ආණ්ඩුවට ප්‍රශ්න කිහිපයක් යොමු කරන්න කැමතියි.
1. ජාතික ඔත්තු සේවයට හා ආරක්‍ෂ කවුන්සිලයට මේ ප්‍රහාරවලට වගකිය යුතු යැයි කියන සංවිධානය ගැන මුලින්ම තොරතුරු ලැබුණේ කවදාද? ඒ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගනු ලැබූ පියවර කවරෙක්ද?
2. ඔය කියන සංවිධානය ත්‍රස්තවාදයට යොමු වෙලා තිබෙන බවක් ආණ්ඩුවට තොරතුරු ලැබිලා තිබුණද?
3. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සොයාගැනීම ගැන විමර්ශනය කලේ කවුද?
4. මේ සම්බන්ධයෙන් හිරබාරයට ගත් සැකකරුවන් කවුද?
5. එය ආරක්‍ෂක කවුන්සිලයට වාර්ථා කරනු ලැබුවාද? එසේ කරනු ලැබුවේ කවදාද, කවුරුන් විසින්ද?
6. ඒ ගැන ගත් පියවර මොනවාද? එම සැකකරුවන්ගෙන් කී දෙනෙක් උසාවියට ඉදිරිපත් කරනු ලැබුවාද? කී දෙනෙක් නිදහස් කළාද?
7. එසේ නිදහස් කරනු ලැබූ සැකකරුන් කිසිවෙකුගේ ඉල්ලීමක් මත නිදහස් කරනු ලැබුවේද? එම ඉල්ලීම කළ පුද්ගලයා කවුද?
8. අප්‍රේල් මාසය ඇතුළත ජාතික ආරක්‍ෂාවට ඇතිවීමට යන අවදානමක් ගැන බුද්ධි අංශ වාර්ථා තිබුණාද? ඒ බව ආරක්‍ෂක කවුන්සිලයට වාර්ථා වුණාද? ඒ වාර්ථා කිරීම කලේ කවුද, කවදාද? එම ආරක්‍ෂක කවුන්සිල රැස්වීමට පැමිණ සිටියේ කවුද?
9. මේ ප්‍රහාරයෙන් විදේශීය හස්ථයක් තිබෙන බව තහවුරු වෙලා තියෙනවාද? එසේනම් ඒ විදෙස් පාර්ශවය කවුද?
ස්තුතියි.