ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය

2019 මාර්තු 17

මාධ්‍ය නිවේදනය

ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇත. 2015 ඔක්තෝබර් මාසයේ මේ ආකාරයට මුල් වතාවට සම අනුග්‍රාහකත්වය දක්වා සම්මත කර ගනු ලැබූ අංක 30/1 දරණ යෝජනාව තුළින් වත්මන් ආණ්ඩුව භාරගත් එක් කාර්‍යයක් වන්නේ ලංකාවට විරුද්ධව තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශණ නිලධාරීන්ගේ සහභාගීත්වය සහිත ‘දෙමුහුන්’ අධිකරණයක් පිහිටුවීමයි. උසාවියේ නඩුවක් ගොනු කිරීමට තරම් සාක්‍ෂි නැති වුවත් මානව හිමිකම් උල්ලංඝනය කළාය කියා සැකයට භාජනය වී සිටින සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයක් තුළින් සේවයෙන් ඉවත් කිරීමටත් ඔවුන් එම යෝජනාව තුළින් එකඟ විය. 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම තුළින් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාව සම්බන්ධයෙන් සම්පාදනය කර තිබූ 2015 සැප්තැම්බර් 28 දින දරණ අංක 30/61 වාර්ථාවද ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිල වශයෙන් පිළිගැනීම සිදු විය. එම වාර්ථාවෙන් සැකකරුවන්ට වද බන්ධන පැමිණවීම, අතුරුදහන් කරවීම, සිවිල් ජනතාව හිතාමතාම ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, යුද කළාපය තුළ සිටි සිවිල් ජනතාවට මානුෂීය ආධාර සැපයීම වැලැක්වීම වැනි චෝදනා විශාල ගණනක් ලංකාවට විරුද්ධව එල්ල කර තිබුණි.

30/1 යෝජනාව තුළින් දෙනු ලැබූ ඇතැම් ප්‍රතිඥා මේ ආණ්ඩුව දැනටමත් ක්‍රියාත්මක කර ඇත. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විනාඩි 40 කටත් වඩා අඩු කාලයක් විවාද කිරීමෙන් පසු ඔවුන් අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කර ගත්තේය. මෙය ‘කාර්යාලයක්’ හැටියට හැඳින්වුවද, එය ඇත්ත වශයෙන්ම සිතාසි නිකුත් කිරීමට, සාක්ෂි කරුවන් කැඳවීමට හා විභාග පැවැත්වීමට බලය සහිත විනිශ්චය සභාවකි. එහි නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක් හෝ බන්ධනාගාරයක් ඕනෑම වෙලාවක වරෙන්තු නොමැතිව සෝදිසි කොට ඔවුන්ගේ විමර්ශන වලට අවශ්‍ය ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගැනීමට බලය ඇත. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන වලට පටහැනිව වුවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දැක්වීමට අනිවාර්යෙන්ම බැඳී සිටී.

2018 මාර්තු මාසයේ දී මහා සංඝරත්නයේ විරෝධයත් නොතකා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියේ විධිවිධාන ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා ආණ්ඩුව 2018 අංක 05 දරණ පනත සම්මත කර ගත්තේය. ලංකාව තුළ සිදු වූවා යැයි කියන අතුරුදහන් වීමක් තමන්ගේ රට තුළ සිදු වූවාක් මෙන් විදෙස් රටකට වුවද විභාග කිරීමට මින් ඉඩ සැලසේ. එවන් චෝදනාවක් මත ශ්‍රී ලාංකිකයෙකු හිර භාරයට ගන්නා රටකට එම පුද්ගලයාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට වුවද බලය ඇත. මේ නව නීතිය යටතේ ලංකාව තුළ අතුරුදහන් කරවීමක් සිදු කළාය කියා සැක කරන පුද්ගලයෙකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පැවරීමත් සිදු කළ හැක.

2002 අංක 25 දරණ අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය උපකාර සැලසීම් පනතට 2018 අගෝස්තු මාසයේදී ගෙන එනු ලැබූ සංශෝධන තුළින් එම පනතේ විධිවිධාන රටවල් විශාල ගණනකට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ජාත්‍යන්තර සංවිධානවලටත් වලංගු වෙන ආකාරයට පුළුල් කරනු ලැබුවේය. ලංකාව තුළ විදේශීය රටවලට අවශ්‍ය සැකකරුවන් හෝ සාක්‍ෂිකරුවන් සොයා ගැනීම, එවන් පුද්ගයන්ට සිතාසි ඇතුලු වෙනත් ලියවිලි ලැබීමට සැලැස්වීම, සාක්‍ෂි සොයා ගැනීම, වරෙන්තු අනුව සෝදිසි සිදුකිරීම, වැනි කාරණා වලට මෙම නීතිය අදාල වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, මානව හිමිකම් කවුන්සිලයේ වර්ථමාන සැසි වාරයට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබෙන වාර්ථාවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන අයට විරුද්ධව තම තමන්ගේ රටවල “යුනිවර්සල් ජූරිස්ඩික්ශන්” සංකල්පය යටතේ නඩු පවරන මෙන් මානව හිමිකම් කවුන්සිලයේ සියලුම සාමාජික රටවලට උපදෙස් දී ඇත. මේ ඉල්ලීම අපේ රටේ මෑතකදී සම්මත කරගත් ඉහත සඳහන් අලුත් පනත් තුනට ඍජුවම සම්බන්ධ වන අකාරය කාටත් පැහැදිලි විය යුතුය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ නවතම වාර්තාවේ අන්තර්ගතය දෙස බලන විට ලංකාව තවදුරටත් සෛවරී රාජ්‍යයක්ද යන ප්‍රශ්නය පැණ නැගේ. එතුමිය ජිනීවා වල සිට ලංකාවේ බලය බෙදීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හැටියට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන ඇය අප්‍රසාදය පල කර ඇත. අගමැතිවරයා මෑතකදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාගත කළ විශේෂඥයන්ගේ වාර්ථාව ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් සඳහා හොද පදනමක් සපයන බව ඇය ප්‍රකාශ කර ඇත. ජිනීවා නුවරින් එවන් අධීක්‍ෂණයක් සිදු වෙන විට ලංකාවට ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවක් කුමටද?

අපේ රණවිරුවන් හා යුද්ධයට නායකත්වය දුන් දේශපාලන බලධාරීන් විදේශ රටවලට පාවා දීම සඳහා 30/1 යෝජනාවට යහපාලන ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වූයේ ඔවුන්ට විදේශ ආධාර විශාල වශයෙන් ලැබේවිය යන බලාපොරොත්තුව තිබුණ කාල වකවානුවකය. විදේශීය මැදිහත්වීම් තුළින් ඇතැම් රටවල අලුත් ආණ්ඩු පිහිටුවීමෙන් පසු අදාල රටවල බලයෙන් පහ කරනු ලැබූ දේශපාලන හා හමුදා නයකයන් විදේශ බලවතුන්ට පාවා දෙනවාට තෑගි වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් එම රටවලට ලැබුණ අවස්ථා මීට පෙර අපි දැක ඇත. විදේශ බලවතුන් එවන් ක්‍රියාමාර්ග ගනු ලබන්නේ, ඒ යටත් කරගත් රටේ ජාතිකවාදී බලවේග නැවත නැගිටින්නේ නැති තැනට වගබලා ගැනීම සඳහාය. වර්ථමාන ආණ්ඩුව කිසිම ලැජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව 30/1 යෝජනාවේ සියලුම ජාතිද්‍රෝහී විධිවිධාන වලට එකඟ වූයේ එවන් බලාපොරොත්තු නිසා බව මම තදින්ම විශ්වාස කරමි.

මෙවර මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි සටන මෙහෙයවනු ලබන්නේ බ්‍රිතාන්‍යය විසිනි. කළින් මේ සටන මෙහෙය වූ ඇමරිකා එක්සත් ජනපදය, මානව හිමිකම් කවුන්සිලය “දේශපාලන පක්‍ෂත්ග්‍රාහීත්වයෙන් පිරුණු අසූචි වලක්” ලෙස හඳුන්වා එයින් ඉවත් වී ඇත. සෑම රටකම ආණ්ඩු වෙනස් වේ. එයත් සමඟම ආකල්ප හා ප්‍රතිපත්තිත් වෙනස් වේ. අද පවතින්නේ 30/1 යෝජනාව සම්මත වූ අවස්ථාවේදී පැවති ජාත්‍යන්තර තත්වය නොවේ. නමුත් අපේ රටේ තවමත් ලෝකය පුරාම අභාවයට යමින් පවතින දේශපාලන ප්‍රවාහය සමඟ ගැට ගැසුණු ආණ්ඩුවක් තිබෙන නිසා 2016 සිට ලෝකය පුරා සිදු වීමට පටන්ගත් පෙරළි වලින් ලංකාවට ලැබිය යුතු වාසි ලබා ගැනීමට නොහැකි වී ඇත.

බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉවත් කරවා ගැනීමට ප්‍රබල උත්සාහයක යෙදි සිටී. 2011 දී එකල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වූ බෑන්කී මූන් මහතා විසින් පත් කරන ලද නිල නොවන කමිටුවක් විසින් සම්පාදනය කල දරුස්මාන් වාර්ථාවේ යුද්ධයේ අවසන් කාලයේදී දෙමළ සිවිල් පුරවැසියන් 40,000 ක් මිය ගිය බවට සම්පූර්ණයෙන්ම මනංකල්පිත ලෙස නිගමනය කර තිබූ අකාරය ඔහු බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයට පැහැදිලි කර ඇත. යුද්ධයේ අවසන් කාලයේ ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂ සම්බන්ධීකරන නිලධාරියා වූ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් මහතා, ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ විනය ගැනත්, කොටි බල ප්‍රදේශයෙන් මිදී ආ සිවිල් වැසියන්ව යුද හමුදාව විසින් මනාව රැකබලාගත් ආකාරය ගැනත් 2009 ජනවාරියේ දී තමන් සමඟ ඉතා ප්‍රසංශාත්මකව කතා කල හැටි නෙස්බි සාමිවරයා විස්තර කර ඇත. ඒ කාලයේ ලුතිනන් කර්නල් ගෑෂ් ලංකාවේ සිට බ්‍රිතාන්‍යට යවා තිබුණු වාර්ථාවල පිටපත් ලබාගෙන ඒවායේ සාක්‍ෂි අනුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් නොතිබුණු බවට නෙස්බි සාමිවරයා ඉතාම පැහැදිලිව පෙන්වා දී ඇත.

එමෙන්ම යුද නීතිය පිළිබඳ ප්‍රධානම පෙලේ ජාත්‍යන්තර විශේෂඥයන් පස් දෙනෙකු, එනම්, රැජිනගේ නීතීඥ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, මහාචාර්යය ඩේවිඩ් ක්‍රේන්, රැජිනගේ නීතීඥ ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, රැජිනගේ නීතීඥ රොඩ්නි ඩික්සන් හා මහාචාර්යය මයිකල් නිව්ටන් යන නීති විශාරදයන් පස් දෙනා ලංකාවේ යුද්ධයේ අවසන් මාසවලදී යුද නීතියේ විධිවිධාන කිසිවක් උල්ලංඝනය නොවුණු බවට ලිඛිත වාර්ථා සපයා ඇත. බ්‍රිතාන්‍යයේ විශේෂ හමුදා බලකායේ හිටපු අණ දෙන නිලධාරියෙකු වන මේජර් ජනරාල් ජෝන් හෝම්ස් බර අවි භාවිතය ගැන වෙනම තාක්‍ෂණික විමර්ශණයක් සිදු කර, යුද්ධයේ අවසන් අදියරේදී බර අවි භාවිතය අයුතු ලෙස සිදු නොවුණු බවට වාර්ථාවක් සපයා ඇත. ශ්‍රී ලංකා යුද හමුදාව සිතාමතාම සිවිල් ජනතාව ඉලක්ක කළාය යන අදහසත් ඔහු පැහැදිලිව ප්‍රතික්‍ෂේප කර තිබේ. 2011 දරුස්මාන් වාර්ථාවේ බර අවි භාවිතය සම්බන්ධයෙන් චන්ද්‍රිකා ඔස්සේ ලබාගෙන තිබෙනවා යැයි කිවූ සාක්‍ෂිද ඔහු තදින්ම විවේචනය කර ඇත.

ලංකාවට පක්‍ෂව මේ ආකාරයට අදහස් ප්‍රකාශ කර තිබෙන විශේෂඥයන්ගෙන් බහුතරය බ්‍රිතාන්‍ය ජාතිකයන් වේ. නමුත් මේ යෝජනා සම්මත කිරීම නවත්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සිදු කර නැත. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා සහ යූ.එන්.පී ආණ්ඩුව නියෝජනය කරමින් ජිනීවා නුවරට ආණ්ඩුවේ දූත පිරිසක් ගොස් සිටී. එහිදී සම්මත කිරීමට යන අලුත්ම යෝජනාව ගැන ආණ්ඩුව වෙනුවෙන් කතා කරමින් ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලබා ඇති ප්‍රගතිය ගැන එම යෝජනාවෙන් ලංකාව ප්‍රසංශා කර ඇති බවින්, එයට සම අනුග්‍රාහකත්වය ලබා දීම ප්‍රශ්නයක් නොවන බවයි. ලංකාව ගැන ප්‍රසංශාත්මක වචන කිහිපයක් එම යෝජනාවේ ඇත්ත වශයෙන්ම තිබේ. නමුත් ඒ කියන ප්‍රසංශාව හිමිව ඇත්තේ අප ඉහත සඳහන් කළ රණවිරුවන් පාවාදෙන නව නීති සම්මත කිරීම වැනි ආණ්ඩුව විසින් සිදු කර ඇති මහා ජාතීද්‍රෝහීකම් වලටය. වත්මන් ආණ්ඩුවේ විදෙස් හාම්පුතුන්ගේ ප්‍රසංශාව හිමි වෙන්නේ පාවාදීමකට පමණි.

පාර්ලිමේන්තුවේ මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්, විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරයට ඉදිරිපත් කර තිබෙන වාර්ථාවේ සඳහන් සියළුම දේවල් වලට ආණ්ඩුව එකඟ නොවන බවයි. එසේ එකඟ නොවෙන කරුණකට උදාහරණයක් සපයමින් විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටියේ උතුරේ ඉඩම් නැවතත් සිවිල් වැසියන්ට මුදා හැරීම සම්බන්ධයෙන් එම වාර්ථාවේ සඳහන් දත්ත වලට ආණ්ඩුව එකඟ නැති බවයි. එවැනි නොවැදගත් කාරණා වලට විරුද්ධ වීමෙන් කිසිදු පලක් නැත. මේ රටේ ජනතාව සැබවින්ම බලාපොරොත්තු වෙන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියටත්, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලටත් නිල වශයෙන් දන්වමින්, පහත සඳහන් ආකාරයේ පැහැදිලි ස්ථාවරයක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු දැකීමටයි.

අ) මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් සම අනුග්‍රාහකත්වය දක්වන්නේ නැත.
ආ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් 2015 සැප්තැම්බර් 28 වෙනිදා නිකුත් කළ අංක 30/60 දරණ වාර්ථාවේ ඇති චෝදනා කිසිවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිගන්නේ නැත.
ඇ) විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ‘දෙමුහුන්’ යුද අධිකරණයක් කිසිදාක පිහිටුවන්නේ නැත.
ඈ) ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට හා ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මූලික අයිතීන්වලට බෙහෙවින්ම හානිකර වන 2016 අංක 14 දරණ පනතත්, 2018 අංක 05 සහ 24 දරණ පනත් දෙකත් අවලංගු කර ඒ වෙනුවට ලංකාවේ අවශ්‍යතා වලට ගැලපෙන ආකාරයේ නව නීති සම්පාදනය කරනු ඇත.

එවන් පැහැදිලි ස්ථාවරයක් නොගෙන වෙන කුමක් කළත්, එය රට ජාතිය පාවාදීමක් මිස අන් කිසිවක් නොවන බව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජිනීවා නුවරට ගොස් සිටින ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් අවබෝධ කරගත යුතුය.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

Sinhala Geneva 17 March 2019

ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත

හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත

පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්ථාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු රට වටේ යන ආකාරය අපි දුටුවෙමු. එවැන්නක් කියන අතරම අලුත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදිය නොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්, බුදු දහමට තිබුණු තැන වෙනස් නොවන බවත්, අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්‍ෂයේ වෙනත් ඇමතිවරුත් කියයි. රටේ පවතින කෘෂිකාර්මික පළිබෝධ උවදුරත්, ණය උගුල ඇතුලු අනේකවිධ අර්බුධ මධ්‍යයේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කෙරෙන මේ හොරගල් ඇහිලීම ගැන අපි කවුරුත් අවධානයෙන් සිටිය යුතුය.

වර්ථමාන පාලකයන් 2015 බලයට පැමිණෙන විට ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්ථාවර පාර්ලිමේන්තු ආණ්ඩු පිහිටුවීමට හැකිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් පමණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ කෙටුම්තේ විධිවිධාන තිබේ. අපි එයට විරුද්ධ නොවෙමු. නමුත් මෙහි යෝජනා කර තිබෙන නව මැතිවරණ ක්‍රමය 2017 දී පලාත් පාලන ආයතන හා පලාත්සභා වලට හඳුන්වාදුන් ආකාරයේ ‘පූර්ණ සමානුපාතික’ මැතිවරණ ක්‍රමයකි. ඒ මැතිවරණ ක්‍රමය ගෙන ඒමට 2017 කටයුතු කළ අයම දැන් එය ප්‍රතික්‍ෂේප කර ඇත. ස්ථාවර ආණ්ඩු ඇතිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට නම් හඳුන්වා දිය යුත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කළ 70% ක් කේවල ආසන හා 30% ක් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා පත් කෙරෙන ‘දෙමුහුන්’ ඡන්ද ක්‍රමයයි. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ දෙමුහුන් මැතිවරණ ක්‍රමය යෝජනා කලේ, 2002 සිට 2007 දක්වා එජාප සහ එජනිස ආණ්ඩු දෙකක් යටතේ අවුරුදු ගණනාවක් මුලුල්ලේ කරනු ලැබූ අධ්‍යනයකින් පසුවය.

පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පලාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත. පලාත් සභා වලට අයිති විශයන් ගැන පාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට නම් හැම පලාත් සභාවක්ම එයට එකඟ විය යුතු වේ. එක පළාත් සභාවක් හෝ එම නීතියට විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මෙන්ම ජනමතවිචාරණයක්ද අවශ්‍ය වේ. නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක් වුවද ඕනෑම පලාත් සභාවකට ඕනෑම වෙලාවක සරළ බහුතරයකින් සම්මත කරන පනතකින් අහෝසි කර දැමිය හැක (කෙටුම්පතේ 132 ඡේදය). පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයට සීමා කළ විට ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වේ. අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමු.

සමගාමී ලැයිස්තුවට අයිති විෂයන් ගැන පාර්ලිමේන්තුව නීති සෑදීමට නම් සියලුම පළාත් සභාවල එකඟත්වය ලබාගත යුතු වේ (134 ඡන්දය). එවන් එකඟතාවයක් ලබාගන්නවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමට වත්මන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හිමි බලය එයින් අහෝසි වෙනු ඇත. පාර්ලිමේන්තුව විසින් නීතියක් සම්මත කළ පසුත් අලුත් ව්‍යවස්ථාවෙන් පිහිටු වීමට යෝජනා කර තිබෙන ව්‍යවස්ථාමය උසාවියට ඒ නීතිය අවලංගු කළ හැක. එයින් පාර්ලිමේන්තුවේ බලය තවත් හීන වේ (182-ඇ සහ 185 ඡේද). මේ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ පලාත් සභා බලතල ලැයිස්තුවක් ගැනත් සමගාමී බලතල ලැයිස්තුවක් ගැනත් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිතුවක් ගැනත් සඳහන් වුවද ඒ ලැයිස්තු අපේ වර්ථමාන ව්‍යවස්ථාවේ තිබෙන ලැයිස්තුද නැත්නම් වෙනස් ඒවාද යන්න සඳහන් කර නැත.

මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතත් සමඟ කිසිඳු ප්‍රයෝජනයක් නැති තොරතුරු අඩංගු ලියවිලි මිටි ගණන් සභාගත කෙරුවද වැදගත්ම කාරණයක් වන මේ බලතල ලැයිස්තු ඉදිරිපත් කර නැත. අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව, මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාට පලාතේ මහ ඇමති යටතේ කටයුතු කිරීමට සිදුවේ. වත්මන් ව්‍යවස්ථාවේ විධිවිධාන වලට හාත්පසින්ම වෙනස්ව පළාතේ විධායක බලය ඇත්තේ මහ ඇමතිවරයාට මිස ආණ්ඩුකාරවරයාට නොවන බවට සඳහන්ව තිබීමෙන්ද මේ යෝජනාවල ෆෙඩරල්වාදී නැඹුරුව තවත් පැහැදිලි වේ (242 ඡේදය).

පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පලාත්බද පොලිස් සේවාවන් 09 කට කඩා ඒ හැම එකටම වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධි විධාන ඇත. ජාතික පොලිස් සේවයට අයිති වන්නේ රාජ්‍ය විරෝධී කටයුතු, මැතිවරණ සම්බන්ධ වැරදි, හොර මුදල් අච්චු ගැසීම වැනි නම්කරනු ලැබු කාරණා කිහිපයක් පමණි. අනෙක් සියලුම එදිනෙදා පොලිස් කටයුතු, එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථ වාහන, මහජන සාමය වැනි කරුණු අයිති වන්නේ පලාත්බද පොලීසි වලටය. (254, 259, හා 284 වෙනි ඡේද) මේ ආකාරයට පොලීසිය කොටස් කිහිපයකට කැඩීමෙන්පමණක් මේ රට ඉවර කර දැමිය හැක. 13 වෙනි සංශෝධනයේ කුමක් තිබුණත් අවුරුදු 30ක් මුලුල්ලේ කිසිම ආණ්ඩුවක් පොලීසිය කෑලි දහයකට වෙන් නොකලේ ඒ නිසාය.

අලුත් යෝජනා යටතේ, වර්ථමානයේ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයන් සඳහා භාවිතා වෙන ඉඩම් හැරුණු විට සෙසු සියලුම රජයේ ඉඩම් අයත් වන්නේ පලාත් සභාවලටය. මධ්‍යම ආණ්ඩුවට එවන් රජයේ ඉඩමක් අවශ්‍ය වුවහොත්, එය අදාළ පළාත් සභාවෙන් ඉල්ලා සිටිය හැක. පලාත් සභාව ඒ ඉඩම නොදී සිටියහොත් එම දුක් ගැනවිල්ල ත්‍රිපුද්ගල බේරුම් කරන කමිටුවකට යොමු වේ. එම කමිටුවේ තීන්දුව ගැන සෑහීමකට පත්නොවන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාමය උසාවියට ඒ ඉඩම ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළ හැක. ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කාරණයකට මධ්‍යම ආණ්ඩුව රජයේ ඉඩමක් පවරාගත්තත් අදාල පලාත් සභාවට ව්‍යවස්ථාමය අධිකරණය වෙත ඒ පවරා ගැනීමට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කළ හැක (302, 307 සහ 308 ඡේද).

අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප්‍රකාශ කළත් එයට විරුද්ධව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබාගත හැක. මාස තුනකට වැඩි කාලයකට නැත්නම් දින 180 ක කාලයක් ඇතුළත දින 90 කට වඩා හදිසි නීති තත්වයක් පවත්වාගෙන යෑමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වේ (290-5, 291- ඈ, 292 ඡේද). එයින් ප්‍රායෝගිකව සිද්ධවන්නේ හදිසි තත්වයකටවත් මධ්‍යම ආණ්ඩුවට සුදුසු ආකාරයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීමයි. හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් යනු විධායකයේ ක්‍රියාවකි. එවන් කාරණා සම්බන්ධයෙන් අධිකරණයට කටයුතු කිරීමට නොහැක. හදිසි නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව වාරණයක් ලබාගත හැකිනම්, හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන්ද පලක් නැත.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට හඳුන්වා දී ඇති විධිවිධාන (237-3 ඡේදය), වර්ථමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි ව්‍යවස්ථාව සම්බන්ධ අධිකරණ බලය වෙනම ව්‍යවස්ථාමය අධිකරණයකට පැවරීම (181 සිට 191 දක්වා ඡේද) ඇතුලු තවත් ගැටලු ගණනාවක්ම ඇත. 1983 හයවන සංශෝධනයෙන් වත්මන් ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛණය හැටියට ඇතුළත් කරන ලද බෙඳුම්වාදයට එරෙහි විශේෂ ප්‍රතිඥාව අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ පෙනෙන්නට නැත. මෙහිදී අප සඳහන් කර ඇත්තේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ අපට එකඟ විය නොහැකි විධිවිධාන කිහිපයක් පමණක් බව සැලකිය යුතුය.

මේ ව්‍යවස්ථා කෙටුම්පතේ පැහැදිලි රටාවක් පෙනෙන්ට තිබේ. එමඟින් පාර්ලිමේන්තුවත් මධ්‍යම ආණ්ඩුවත් හැකි තරම් දුර්වල කරනු ලැබේ. පලාත් සභා හැකි තරම් බල සම්පන්න කරනු ලැබේ. ආණ්ඩුකාරවරුන් මහ ඇමතිවරුන්ට යටත්කරනු ලැබේ. සෑම පලාත් සභාවකටම වෙන වෙනම සන්නද්ධ පොලිස් සේවාවන් ඇති කරනු ලැබේ. පලාත් සභා වලට අයත් බලතල මොනවාද, මධ්‍යම ආණ්ඩුවට අයත් බලතල මොනවාද යන්න දැන්මම ප්‍රකාශයට පත් නොකර, පසුව නියම කර ගැනීමට ඉඩ ඉතුරු කරනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල හදිසි නීතියවත් ප්‍රකාශ කිරීමට බැරි තත්වයක් ඇති කරනු ලැබේ. මේ සියල්ලම කුමණ අරමුණකින් කරනවාද යන්න කාටත් පැහැදිලි විය යුතුය.

අද රට පාලනය කරන එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුලු හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප්‍රවේශය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතල ලෙස පලුදු වී ඇත. ඔවුන් ජනතාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් නොමඟ හැරීම සඳහාම 19 වන සංශෝධනය තුළින් හිස් වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළ ආකාරය කවුරුත් දනී. සම්පූර්ණයෙන්ම වෙනත් කාරණා සඳහා ඉදිරිපත් කර තිබුණු පනත් කෙටුම්පත් දෙකකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ගෙන එනු ලැබූ සංශෝධන වලින් පලාත් පාලන මැතිවරණ ක්‍රමයත් පලාත් සභා මැතිවරණ ක්‍රමයත් පස්සා දොරින් වෙනස් කළ ආකාරය කවුරුත් දනී. 2016 අගෝස්තු මාසයේදී විවාදයක්වත්, හරිහමන් ඡන්දයක්වත් නොපවත්වා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් මැද මේ ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්හැටි කවුරුත් දනී.

මේ ආණ්ඩුවේ කපටිකම් වලට සීමාවක් නැත. ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු ඔවුන් කතා කරන්නේ බුද්ධාගමට හිමි තැන ගැනත් ‘ඒකීය’ යන වචනය ගැනත් පමණය. අපට ලබා දී ඇති කෙටුම්පතේ මේ කාරණා දෙකම සම්බන්ධයෙන් විකල්ප වගන්ති යෝජනා කර ඇත. අප මෙතනදී පරීක්‍ෂාකාරී විය යුතුය. බෙදුම්වාදීන්ටයි ෆෙඩරල්වාදීන්ටයි වැදගත් වන්නේ නමවත්, වචනයවත් නොවේ. ඔවුනට අවශ්‍ය දේ ලැබෙනවා නම්, නම කුමක් වුවත් ඔවුනට ප්‍රශ්නයක් නැත. මේ පිරිස සැබවින්ම ඉලක්ක කරගෙන සිටින්නේ ඒකීය කියන වචනයවත් බුදු දහමවත් නොවේය. රටේ ඒකීය භාවය ගැනත් බුදු දහම ගැනත් ඉදිරිපත් කර තිබෙන විකල්ප වගන්ති කේවල් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් විසින්ම ඉල්ලා අස් කරගෙන බොරු නම්‍යශීලී බවක් පෙන්වා මේ ව්‍යවස්ථා කෙටුම්පතේ හරය වෙන ෆෙඩරල් පාලන ක්‍රමය දිනා ගැනීමට ඔවුන් උත්සාහ කිරීමට ඉඩ ඇත.

විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ උප්පරවැට්ටි ගැන අවබෝධයෙන් සිටිය යුතු යැයි මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වර්ථමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන දී තිබියදීත්, මේ ආණ්ඩුව භික්‍ෂූන් වහන්සේලාව මර්ධනය කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා ඒකීය ලේබලය එළෙසම තිබියදී ඔවුන්ට රට ෆෙඩරල් කළ හැක. මේ රටේ දමිළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ උතුරු නැගෙනහිර පලාත් වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වන්නේ නැගෙනහිර පළාතෙන් පිටය. මේ වගේ රටකට අලුත් ව්‍යවස්ථාවක් සෑදිය යුත්තේ ඒ යතාර්ථයත් හිතේ තබාගෙනය.

වර්ථමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුලුල් වෙනස්කම් සිඳු විය යුතු බව අපි පිළිගනිමු. 19 වෙනි සංශෝධනය නිසා පමණක් මොන තරම් අවුලක් ඇති වී තිබෙනවාද? ඇතැම් දේශපාලන පක්‍ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්‍ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු. ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්‍ෂ වලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 ජනවාරි 23

Sinhala 23 January 2019

විපක්‍ෂ නායකතුමාගේ තෛපොංගල් පණිවුඩය

අද දින තෛපොංගල් සමරන දමිළ ජනතාවට මම සාමය, සතුට පිරි සෞභාග්‍යමත් අනාගතයකට සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු ජනයාගේ අස්වනු නෙලන අවස්ථාව සමරනු ලබන මෙම මහෝත්සවය, ගොවියන්ට පමණක් නොව අප සියලු දෙනාටම සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. මෙම උත්සවයෙන් ලබාදෙන පණිවුඩය ලෝ වාසී සියලු දෙනාටම ඉතාම වැදගත්ය.

ජාති, ආගම් භේද පසෙකලා, තෛපොංගල් උත්සවය අපි අපේ ඥාතී-හිත මිත්‍රාදීන් සමඟ, සාමයෙන් සහ ස්නේහයෙන් යුතුව සමරමු.

හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය තෛ යනුවෙන් හැඳින්වෙන අතර, අපගේ මුතුන් මිත්තන්ට අනුව, තෛයි මාසයේ උදාව නව ගමනක ආරම්භය සටහන් කරයි.

මෙම උත්සවය තුළින් දමිළ ජනතාව, එළෙඹෙන වසර දුක් කම්කටොලු වලින් මිදුනු යහපත් සෞඛ්‍ය සහ සමෘද්ධිය උදා කරන මෙන් ආශිර්වාද පතා හිරු දෙවියන්ට බුහුමන් දැක්වීම සිදු කරති. මෙම තෛපොංගල් දිනයේදී, පසුගිය වසරේ අප, විශේෂයෙන් උතුරු – නැගෙනහිර ජනතාව, මුහුණපෑ ස්වාභාවික ව්‍යසනයන්ගේ බලපෑම්වලින් ප්‍රකෘති ස්වභාවයට ජන ජීවිතය පත් කිරීමට එකට එකතු වී කටයුතු කරමු.

මගේ දීර්ඝ දේශපාලන ගමනේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස, ඇමතිවරයෙක් ලෙස, අගමැතිවරයෙක් ලෙස, ජනාධිපතිවරයෙක් ලෙස මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස, මා සැම විටම රටේ ප්‍රගතිය වෙනුවෙන් ජාති, ආගම් භේද වලින් තොරව කටයුතු කර ඇත්තෙමු.

තවද, රටේ විපක්‍ෂ නායක ලෙස, රට තුළ එක්සත් සහ සාමකාමී ජීවිතයක් අප සියලු දෙනාටම ගත කිරීමට ඉවහල් වන, අප සියලු දෙනාටම එකඝ විය හැකි දේශපාලන විසඳුමක් ලැබෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 ජනවාරි 15

__________ _______ 2019

Tamill 2019

සිව් වසරක අවපාලනය

මාධ්‍ය නිවේදනය

සිව් වසරක අවපාලනය හා මතු පරපුරට රටක් අහිමි වීමේ අවදානම

2015 ජනවාරි 9 වනදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව රටක් හැටියට තුන් බියකට ගොදුරු වී සිටී. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමණ මොහොතක හෝ දරුණු බිඳවැටීමකට ලක් වීමේ අවදානමයි. මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මස සිට 2014 දෙසැම්බර් මස අවසානය දක්වා ගතවුණු අවුරුදු 60 කට වැඩි කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරි වී තිබුණු මුලු ණය ප්‍රමාණය මෙන් 50%කට වඩා මුදලක් වත්මන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ගතවුණු අවුරුදු හතර ඇතුළත පමණක් ලබාගෙන ඇත. එජාප ආණ්ඩුව ණය ගන්නෙ අපේ ආණ්ඩුව ගත් ණය ගෙවීමට යැයි කීවද, ගත් ණය ගෙවීමට පමණක් ණය ගත්තේ නම්, 2015න් පසු සමස්ථ ණය ප්‍රමාණය වැඩි වීමට නොහැක. නමුත් කලින් ආණ්ඩු ගත් ණය එලෙසම තිබියදී ලංකාවේ මුලු ණය ප්‍රමාණය පසුගිය අවුරුදු හතර ඇතුළත 50%කින් වැඩි වී තිබේ.

2006-2014 අතර අපි රට පාලනය කළ සමයේ මුල් අවුරුදු කිහිපය තුළ රටේ දරුණු යුද්ධයක් පැවතුනි. එයත් සමඟ 2007 ලෝක ආහාර අර්බුදය ඇති විය. 2008-2009 කාලයේ දී 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථීක අවපාතය අපිට අත් විදීමට සිදුවිය. එපමණක්ද නොව 2006 – 2014 කාලයේදී ඉතිහාසයේ පෙර නොවු විරූ ආකාරයට බැරලය ඩොලර් 140 දක්වා එකදිගටම දරුණු ලෙස තෙල් මිලද ඉහල ගියේය. ඒ සියලුම කලබැගෑනි මැදින් වුවත් 2006 – 2014 අතර මුලු අවුරුදු නවය පුරාම රුපියල ඩොලරයට සාපේක්‍ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 28 කින් පමණි. නමුත් පසුගිය අවුරුදු හතර ඇතුළත පෙර කී ආකාරයේ කිසිම අර්බුදයක් නැතුවත් අපේ මුදල් ඒකකය රුපියල් 53කින් අවප්‍රමාණය වී ඇත. අපේ කාලේ තිබුණු 7.4% ක සාමාන්‍ය වර්ධන වේගය අද 3% ටත් පහල තැනකට වැටී ඇත. ජනාධිපතිතුමා තත්වය අවබෝධ කරගෙන මහ මැතිවරණයක් පවත්වා නැවත රට අපට භාරදීමට උත්සාහයක් දැරුවද ඒ උත්සාහය සාර්ථක වුයේ නැත. අපි අද සිටින්නේ ඊළඟ සතියේ, ඊළඟ මාසයේ, ආර්ථිකයට කුමක් වේදැයි නොදන්නා තත්වයකය.

අපි මුහුණ දී සිටින ඊළඟ බිය වන්නේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මුලු පාලන තන්ත්‍රයම බිඳ වැටීමේ අවදානමයි. 19 වන සංශෝධනය නිසා, ආණ්ඩුවක් අයවැය හෝ රාජාසන කතාව පැරදුනත්, විශ්වාස භංග යෝජනාවකින් පැරදුනත් මොනම හේතුවකටවත් අවුරුදු හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක. පාර්ලිමේන්තුවක් යනු විවිධ මතිමතාන්තර, පුද්ගලික උවමනා එපාකම් සහිත සංවිධාන හා පුද්ගලයන් සමූහයකි. පාර්ලිමේන්තු ක්‍රමය ශතවර්ෂ ගණනාවක් තිස්සෙ පරිණාමය වූයේ එවන් පිරිසක් යම්කිසි රාමුවක් තුළ රඳවාගෙන පාලනයක් ගෙන යෑමට හැකි වෙන ආකාරයටය. රටේ පාලනයට බලපෑමක් ඇති වෙන තැනට පාර්ලිමේන්තු ආණ්ඩු පක්‍ෂයක් තුළ මත ගැටුම් ඇති වුවහොත් මැතිවරණයක් කැඳවා ජනතා අභිමතය පරිදි නව පාලනයක් පත් කරගැනීමට ඉඩ හැරීම පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රධානම අංගයක් විය. අවශ්‍ය අවස්ථාවල ජනතාව ඉදිරියට යෑමේ ක්‍රමවේදය දැන් අහුරා තිබෙන නිසා ආණ්ඩු පක්‍ෂයට තමන්ගෙම මන්ත්‍රීවරුන් හා සභාග දේශපාලන පක්‍ෂ යම් රාමුවක් තුළ රඳවාගෙන කටයුතු කිරීමේ හැකියාව හීන වී ඇත.

අපේ රටේ 1952, 1959, 1964, 2001 පාර්ලිමේන්තු විසුරුවීම් සිද්ධ වූයේ පාලක පක්‍ෂය තුළ ඇතිවූ ගැටුම් විසඳීමටය. අවශ්‍ය අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීමට ඇති අවකාශය ඇහිරීම රටකට කෙතරම් අහිතකර දැයි ඉදිරියේදී කාටත් පෙනෙනු ඇත. 1978 ව්‍යවස්ථාව ගැන මූලාරම්භයේ සිටම තිබුණු ප්‍රධානම විවේචනය වූයේ, ජනාධිපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකින් පත් වි සිටින අතර පාර්ලිමේන්තු බහුතරය තවත් පක්‍ෂයකට ගියහොත්, රටේ පාලනය අවුල් වෙන බවයි. මේ තත්වය මඟහැරීමට 1994 දීත්, 2001 දීත් ඇතිවූ පූර්වාදර්ශය වූයේ, බලයේ සිටින ජනාධිපතිවරයෙක් මහ මැතිවරණයක් කැඳවා, යම් හෙයකින් ඔහුට විරුද්ධ දේශපාලන පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ බලය දිනාගතහොත්, ඒ ආසන්න ජනමතයට ගරු කර රටේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් පත්වෙන අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට භාර දී ජනාධිපතිවරයා පසෙකට වී සිටීමයි. අද එවැන්නක් කළ නොහැක.

මහ මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීම ජනාධිපතිවරයාට තහනම් වුවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සමඟ ආණ්ඩු පිහිටුවමින් රට ඉදිරියට ගෙන යෑමේ සම්පූර්ණ වගකීම 19 වන සංශෝධනය විසින්ම පවරා ඇත්තේ එම ජනාධිපතිවරයාටමය. ආණ්ඩුවේ ප්‍රධානියාත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාත්, වන්නේ ජනාධිපතිවරයාමය. එවන් ආණ්ඩුවක් කරන සෑම දේකටම ජනාධිපතිවරයාටද වගකීමට සිදුවේ. කලින් මෙන් ජනවරම ඇත්තේ කාටදැයි උරගා බැලීමට නොහැකි නිසා ආසන්න ජනවරමට ගරුකොට ජනාධිපතිට පාලනයෙන් අයින් වී සිටීමටද දැන් නොහැක. 2018 පලාත් පාලන ඡන්දයෙන් පසු, එජාපයට ජනවරමක් නොමැති බවත්, ඔවුන් දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මඟහරිමින් සිටින්නේ ඒ නිසාම බවත් මුලු රටම දනී. එවන් තත්වයක් යටතේ, ජනාධිපතිතුමාට එජාපයට රට භාරදී පසෙකට වී සිටීමට කොහෙත්තම නොහැක. 19 වෙනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන මේ විකෘතිය නිසා රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වීමේ අවදානමක් ඇත.

අපේ රට ඉදිරියේ ඇති තුන්වෙනි බිය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත්කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාවයි. ආණ්ඩුව එමඟින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍යයන් වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක නවයකට ලංකාව කැඩිමය. අද මධ්‍යයම ආණ්ඩුව සතු සියලුම බලතල ඒ ඒ පලාත් වලට බෙදා දීමට නියමිතය. මේ හැම පලාතකටම වෙනම පොලීසියකුත් ඇති කිරීමට නියමිතය. හදිසි අවස්ථාවකදීවත්, මධ්‍යම ආණ්ඩුවට රටේ සාමය හා ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වෙන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත්, නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමඟින් ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත. මෙම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේද 19 වෙනි සංශෝධනය කෙටුම්පත් කර මුලු රටම අවුල් ජාලාවක් බවට පත් කළ අයමය.

මේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පාර්ශවයම 2017දී පලාත් පාලන හා පලාත් සභා වලට අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අලුත් මැතිවරණ ක්‍රමය ගෙන ඒමට උඩ පැනගෙන කටයුතු කරපු අයම දැන් කියන්නේ ඒ ක්‍රමයට නම් ඉදිරියේ මොනම ඡන්දයක්වත් පවත්වන්න එපා කියලාය. මේ පිරිසම හැඳු අලුත් ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටක් හැටියට ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන් වෙනු ඇත. අපට ආරංචි වෙන ආකාරයට, මේ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව අද මරණ තුනකට මැදි වී සිටි. මෙම තුන් බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ මීට කලින්ද ජයගත නොහැකි යැයි කියූ අභියෝග ජයගෙන ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිඵල පෙන්වා ඇති මගේ නායකත්වය යටතේ ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක -2019 ජනවාරි 9

Sinhala 9 January 2019

මම කාවවත් හමු වුණේ නෑ

මම කාවවත් හමු වුණේ නෑ..  පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ මහින්ද
– බැසිල් රාජපක්ෂ –
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම පිළිබ`ද සාකච්ඡුා කිරීම ස`දහා ඔහුගේ නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මලිත් ජයතිලක මහතා සහ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක යන මහතා තමා හමු වූ බවට පල වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
මේ පිළිබ`දව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ බැසිල් රාජපක්ෂ මහතා…….
ශිරාල් ලක්තිලක හෝ මලිත් ජයතිලක මෑතකදී මට නිකමටවත් මුණගැහිලා නෑ…. අඩුම ගානේ මගුල් ගෙදරකදී, දානෙ ගෙදරකදිවත් මෑතකදි ඔවුන් මට හමුවෙලා නෑ. අනික මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මා එක්ක යමක් සාකච්ඡුා කරන්න උවමනා නම් අතරමැදියො එවන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කරුණක් තියෙනවා නම් ජනාධිපතිතුමාට පු`ඵවන් සෘජුවම මා එක්ක කතා කරන්න. මම හිතන්නෙ නැහැ අතරමැදියන් හරහා මා සම`ග කතා කිරීමේ අවශ්‍යතාවක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තියෙනවා කියලා.
මෙතන දී මම විශේෂයෙන් කියන්න අවශ්‍යයි, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මිසක් වෙන කවුරුවත්ම නෙමෙයි. අපේ ජනතාවගේ එක`ගතාවය ඇතුව අපි පක්ෂයක් විදිහට මීට මාස හය හතකට පෙර එතුමාට ඒ පිළිබ`ද පූර්ණ වගකීම භාර දුන්නා. ඒ නිසා නිසි කලට, නිසි ලෙසට ඒ වැඬේ සිද්ධ වෙයි.
සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2018.12.26

2018.12.26

පොහොට්ටුව ගමින් ගමට

ජාතියේ අනාගත වැඩපිළිවෙල සැකසීමට පොහොට්ටුව ගමින් ගමට
මුඵ රටම ආවරණය කරමින් සෑම ගමක්ම නියෝජනය වන පරිදි ස්ථාන 25,000 ක දී මහජන කථිකා මාලාවක් දිවයින පුරා පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කරන බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළා. හෙතෙම මේ බව සදහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුසංවිධාන නියෝජිතයන් හමුවේ කරුණු පැහැදිලි කරමින්. ඊළග ජාතික මැතිවරණයේ දී රටේ ආණ්ඩු බලය දිනාගැනීමට සියලූ හැකියාවන් තිබෙන දේශපාලන ව්‍යාපාරය ලෙස ඊළග ආණ්ඩුවේ ජාතික වැඩපිළිවෙල නිර්මාණය කිරීම සදහා ගමින් ගමට ගොස් මහජන අදහස් ලබා ගැනීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි. සහභාගීත්ව සංවර්ධන සංකල්පය අනුගමනය කරමින් ජාතියේ අනාගත වැඩපිළිවෙල සැකසීම සදහා ඉතාම සජීවි ලෙස සහ ප‍්‍රායෝගික ලෙස මහජන දායකත්වය ලබා ගැනීම මෙම මහජන කථිකා 25,000 ඔස්සේ සිදු කෙරේ.
මෙම වැඩපිළිවෙල පිළිබදව තවදුරටත් කරුණු පැහැදිලි කළ බැසිල් රාජපක්ෂ මහතා…..
අපි ගමින් ගමට ගිහිල්ලා රටේ අනාගතය පිළිබද ජනතා හැගිම්, අදහස් හා යෝජනා සියල්ල විද්‍යාත්මකව එකතු කරනවා. රටේ ජාතික අවශ්‍යතාවන් සහ ගමේ අවශ්‍යතාවන් අතර පරස්පරතාවන් දුරුකරලීම අපේ එක බලාපොරොත්තුවක්. ගම පිළිබද නිසි අවබෝධයකින් තොරව කොළඹ සීත කාමරවල හදන සංකල්ප ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින සාම්ප‍්‍රධායික චෝදනාව අපි අවසන් කළ යුතුයි. නූතන දැනුම සහ සාම්ප‍්‍රධායික දැනුම රටේ අනාගතය වෙනුවෙන් තුලනාත්මකව භාවිත කිරීමට අපි සූදානම්. විශේෂයෙන්ම මේ මහජන කථිකා මාලාවේදී ප‍්‍රධාන මාතෘකා කිහිපයක් පිළිබදව මහජන අදහස් සහ තොරතුරු ලබා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. තිරසාර සංවර්ධනය, තරුණ තරුණියන්ට රැකියා ලබාදීම, ග‍්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම, දැහැමි සමාජයක් නිර්මාණය කිරීම, වැඩිහිටියන්ට සහ විශේෂ අවශ්‍යතා සහිති වූවන්ට සැලකීම, සංස්කෘති අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම යන කරුණු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් අපි මෙම මහජන කථිකා 25,000 දී මහජන අදහස් ලබා ගන්නවා. මෙහි දී රට ගොඩනගන වැඩපිළිවෙල සහ මහජනයා අතර පවතින පරතරය අවම කරලා රටේ ජාතික වැඩපිළිවෙල තුළ මහජනතාවට අවස්ථාවක් නිර්මාණය කරන්න අපිට පුඵවන් වෙනවා. ඒක ඉතා ඵලදායි සාධනීය ප‍්‍රවේශයක් බවයි අපි විශ්වාස කරන්නේ. ජාතියේ අනාගත න්‍යාය පත‍්‍රය කෙටුම්පත් කරන්න මහජනතාව සහභාගී කරවා ගැනීම පිළිබද අලූත් සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා. අපේ දේශපාලන ව්‍යාපාරයේ ජාතික නායකත්වයේ සිට ග‍්‍රාමීය නායකත්වය දක්වා විහිදුණු අපේ සියලූ මහජන නියෝජිතයන්ගේ නායකත්වයෙන් අපි මේ වැඩපිළිවෙල ඉතා ඉක්මණින් රට පුරා ක‍්‍රියාත්මක කරනවා.
සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

2018.12.21 – ජාතියේ අනාගත වැඩපිළිවෙල සැකසීමට පොහොට්ටුව ගමින් ගමට

පොහොට්ටු ජනහමු 25000ක් රටපුරා..

මුඵ රටම ආවරණය කරමින් සෑම ගමක්ම නියෝජනය වන පරිදි ස්ථාන 25,000 ක දී මහජන කථිකා මාලාවක් දිවයින පුරා පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කරන බව බැසිල් රාජපක්ෂ මහතා ස`දහන් කරයි. හෙතෙම මේ බව ස`දහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුසංවිධාන නියෝජිතයන් හමුවේ කරුණු පැහැදිලි කරමිනි.

ඊළග ජාතික මැතිවරණයේ දී රටේ ආණ්ඩු බලය දිනාගැනීමට සියලූ හැකියාවන් තිබෙන දේශපාලන ව්‍යාපාරය ලෙස ඊළග ආණ්ඩුවේ ජාතික වැඩපිළිවෙල නිර්මාණය කිරීම සදහා ගමින් ගමට ගොස් මහජන අදහස් ලබා ගැනීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි.

සහභාගීත්ව සංවර්ධන සංකල්පය අනුගමනය කරමින් ජාතියේ අනාගත වැඩපිළිවෙල සැකසීම ස`දහා ඉතාම සජීවි ලෙස සහ ප‍්‍රායෝගික ලෙස මහජන දායකත්වය ලබා ගැනීම මෙම මහජන කථිකා 25,000 ඔස්සේ සිදු කෙරේ.

මෙම වැඩපිළිවෙල පිළිබ`දව තවදුරටත් කරුණු පැහැදිලි කළ බැසිල් රාජපක්ෂ මහතා…..

‘අපි ගමින් ගමට ගිහිල්ලා රටේ අනාගතය පිළිබ`ද ජනතා හැ`ගිම්, අදහස් හා යෝජනා සියල්ල විද්‍යාත්මකව එකතු කරනවා. රටේ ජාතික අවශ්‍යතාවන් සහ ගමේ අවශ්‍යතාවන් අතර පරස්පරතාවන් දුරුකරලීම අපේ එක බලාපොරොත්තුවක්. ගම පිළිබ`ද නිසි අවබෝධයකින් තොරව කොළඹ සීත කාමරවල හදන සංකල්ප ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින සාම්ප‍්‍රධායික චෝදනාව අපි අවසන් කළ යුතුයි. නූතන දැනුම සහ සාම්ප‍්‍රධායික දැනුම රටේ අනාගතය වෙනුවෙන් තුලනාත්මකව භාවිත කිරීමට අපි සූදානම්. විශේෂයෙන්ම මේ මහජන කථිකා මාලාවේදී ප‍්‍රධාන මාතෘකා කිහිපයක් පිළිබ`දව මහජන අදහස් සහ තොරතුරු ලබා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

තිරසාර සංවර්ධනය, තරුණ තරුණියන්ට රැකියා ලබාදීම, ග‍්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම, දැහැමි සමාජයක් නිර්මාණය කිරීම, වැඩිහිටියන්ට සහ විශේෂ අවශ්‍යතා සහිති වූවන්ට සැලකීම, සංස්කෘති අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම යන කරුණු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් අපි මෙම මහජන කථිකා 25,000 දී මහජන අදහස් ලබා ගන්නවා. මෙහි දී රට ගොඩනගන වැඩපිළිවෙල සහ මහජනයා අතර පවතින පරතරය අවම කරලා රටේ ජාතික වැඩපිළිවෙල තුළ මහජනතාවට අවස්ථාවක් නිර්මාණය කරන්න අපිට පු`ඵවන් වෙනවා. ඒක ඉතා ඵලදායි සාධනීය ප‍්‍රවේශයක් බවයි අපි විශ්වාස කරන්නේ. ජාතියේ අනාගත න්‍යාය පත‍්‍රය කෙටුම්පත් කරන්න මහජනතාව සහභාගී කරවා ගැනීම පිළිබ`ද අලූත් සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා. අපේ දේශපාලන ව්‍යාපාරයේ ජාතික නායකත්වයේ සිට ග‍්‍රාමීය නායකත්වය දක්වා විහිදුණු අපේ සියලූ මහජන නියෝජිතයන්ගේ නායකත්වයෙන් අපි මේ වැඩපිළිවෙල ඉතා ඉක්මණින් රට පුරා ක‍්‍රියාත්මක කරනවා’

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

පොහොට්ටුවෙන් මාධ්‍ය මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිල පුවත් අඩවිය www.slpp.news සහ මාධ්‍ය මධ්‍යස්ථානය පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් අද (05) උදේ විවෘත විය
පක්ෂ කාර්යාල පරිශ්‍රයේ පිහිටවූ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජි එල් පිරිස් මහතා පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගාමිණී ලොකුගේ එච් එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරුද එක් වුහ

 

ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය

මාධ්‍ය නිවේදනය

ඳහන් වුණේ 19 වෙනි සංශෝධනයට පෙර තිබුණු 70(1) වගන්තියෙයි. ඒ වගන්තිය අහෝසි කරලා නම් තියෙන්නෙ, අද ආණ්ඩුවක් රාජාසන කතාව පැරදුනත්, අයවැයක් පැරදුනත්, විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මොනම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්වත් නෑ.

ඒ වගේ සීමා කිරීමක් ඇති කරන එක පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්දයි. ලෝකයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සහිත හුඟක් රටවල ඉන්නෙ නාමමාත්‍ර රාජ්‍ය නායකයොයි. ඒ වගේ රටවල පවා, සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයාට තම අභිමතය හා තක්සේරුව පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන් කියලා. බ්‍රිතාන්‍යයේ ඒ.වී. ඩයිසි කියන නීති විශාරදයා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට වඩා ජනතාවගේ මතය වෙනස් කියලා හැගෙනවනම්, රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා. 1975 දී ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරයා, තම තනි අභිමතය අනුව අගමැති ගෆ් විට්ලම්ව ධූරයෙන් නෙරපලා මහ මැතිවරණයක් කැදෙවුවා.

ඒ වගේම ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද කියන එක ඉන්දීය ජනාධිපතිවරයාගේ තක්සේරුව අනුව සිදු විය යුතු බව. ඉන්දීයාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසුරුවා හැරීමේදී ඒ අභිමතය මුල ඉඳලම පාවිච්චි කරලා තියෙනවා. 1970 දී පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ විපක්‍ෂයේ විරෝධය නොතකා ජනාධිපති වී.වී.ගිරි ඉන්දීය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 1979 දී සංජීව රෙඩ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච අරාජිකත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තම තක්සේරුව අනුව විසුරුවා හැරියා.

එහෙම වුණේ නාමමාත්‍ර රාජ්‍ය නායකයෝ ඉන්න රටවල. නමුත් ලංකාවේ ඉන්නෙ ඍජුවම ජනතාව විසින් ඡන්දයෙන් පත් කරන විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු කල නොහැකි බව 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වෙනවා. 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු 70(1) වගන්තිය ඉවත් කරයි කියලා කිවුවට, ඇත්තටම සිදු වුණේ 70(1) යටතේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙනත් තැනකට ගෙන යෑමයි.

පරණ 70(1) වගන්තිය සංශෝධනය කරන අතරම, 19 වෙනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ 33 වගන්තියට අලුතෙන් (2)(ඇ) යන උප වගන්තිය එකතු කලා. මේ වගන්තියෙන් කියවෙන්නෙ, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල වලට අමතරව, පාර්ලිමේන්තුව කැඳවීමටත්, වාර අවසාන කිරීමටත්, විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලය තිබෙන’ බවයි. මේ ආකාරයට අලුතෙන් හඳුන්වාදුන් 33(2)(ඇ) වගන්තිය, 19 සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තියට යටත් කියලත් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.

ඒ නිසා වෙන්න ඕන 19 වෙනි සංශෝධනය ගැන 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ, 70(1) වගන්තියට සිදු කර තිබුණු වෙනස්කමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුනේ. 70(1) වගන්තිය වෙනස් කලේ ජනාධිපතිවරයාට ඒ යටතේ තිබුණ බලතල අඩු කිරීමට නම්, 70(1) වගන්තිය පමණක් වෙනස් කරන එක තමයි වෙන්න ඕන. පරණ 70(1) වගන්තියේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණ බලය 33(2)(ඇ) වගන්තිය හැටියට නැවත ගෙන ආවේ ජනාධිපතිවරයාට හිමි ඒ බලය ජනමත විචාරණයක් නැතුව අහෝසි කළ නොහැකි නිසා කියලා තමයි නීති විශාරදයෝ කියන්නෙ.

19 වෙනි සංශෝධනයෙන් ඔය විදියටම තවත් වගන්තියක් එක තැනකින් තව තැනකට ගෙනිහිල්ලා තියෙනවා. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියපු පරණ 42 වගන්තිය අහෝසි කරලා ඒකෙ වචන මොනවත් වෙනස් නොකර 19 වෙනි සංශෝධනයෙන් 33ඒ වගන්තිය හැටියට ව්‍යවස්ථාවට නැවත ඇතුල් කරලා තියෙනවා. එහෙම කලේ ඇයි කියලා ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන. නමුත් ඒකෙ ප්‍රතිඵලය වන්නේ 19 වෙනි සංශෝධනයට පෙරත්, පසුත්, ජනාධිපතිවරයා එකම විදියට පාර්ලිමේන්තුවට වගකිව යුතු වීමයි. පරණ 70(1) වගන්තිය යටතේ තිබුණු බලයක් 33(2)(ඇ) හැටියට නැවත ගෙන ඒමෙනුත් වෙන්නෙ ඒකමයි.

19 වෙනි සංශෝධනයෙන් පස්සෙ, අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකිලා තියෙන්නෙ මේ 33(2)(ඇ) වගන්තියෙන්. ඒ වගන්තිය නොසලකා හැර අපි 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තිය පමණක් පිළිගත්තොත්, සිද්ධ වෙන්නෙ රාජාසන කතාව පැරදුනත්, අයවැය පැරදුනත්, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ යන නිගමනයට එන්න සිදුවීමයි. එහෙම පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වූවක්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම තියෙන රටවල නාමමාත්‍ර රාජ්‍ය නායකයන්ටත්, අවශ්‍යතාවයක් පැන නැගුන විට තම අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ කැඳවන්න පුලුවන්නම්, ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන, ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක කොයි තරම් තර්කානුකූලද?

19 වෙනි සංශෝධනයෙන්ම 33(2)(ඇ) වැනි අලුත් වගන්තියක් ව්‍යවස්ථාවට හඳුන්වලා දීලා තිබෙද්දිත්, ජනාධිපතිට ඒ වගේ බලයක් නෑ කියන්න පුලුවන්ද? අපේ රණවිරුවන් පිටරට උසාවි වලට භාර දෙන්න නීති හඳපු 2018 අංක 05 දරණ පනත සම්මත වුනේ ඡන්ද 56 න්. නමුත් පාරිලිමේන්තුව විසුරුවලා ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 150ක් ඕන කියලා තර්ක කරන්න පුලුවන්ද? මට ළඟදි කෙනෙක් ගෙනල්ලා දුන්න “ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටුට් ෆෝ ඩෙමොක්රසි ඇන්ඩ් ඉලෙක්ටෝරල් ඇසිස්ටන්ස්” කියලා රටවල් ගණනාවක් එකතුවෙලා හඳපු අන්තර් – රාජ්‍ය ඒ කියන්නේ ඉන්ටර් – ගවර්න්මෙන්ටල් සංවිධානයකින් හදපු වාර්ථාවක්. ඒ සංවිධානයේ ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය වගේම ඉන්දියාව හා ජපානය වගේ රටවලුත් සාමාජිකත්වය දරණවා.

මේ වාර්ථාවට අනුව, ව්‍යවස්ථාදායකය විසුරුවාහරින්න නම් තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය රටවල් දෙකයි තියෙන්නෙ – ඒ කොසෝවොයි, ලිතුවේනියාවයි. නමුත් ඒ රටවලත්, ආණ්ඩුවට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සම්මත වීම, රාජසන කතාව පරාජය වීම වගේ අවස්ථාවල ව්‍යවස්ථාදායකය විසුරුවන්න රාජ්‍ය නායකයාට බලය තියෙනවා. නිල කාලය ඉවර වෙනකන් මොනම හේතුවකටවත් ව්‍යවස්ථාදායකය විසුරුවන්න බැරි ඒකෙ සඳහන් වෙන එකම රට නෝර්වේ රාජ්‍යයි. නමුත් නෝර්වේ වල තියෙන තත්වය අපේ රටට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ඉන්නෙ අපේ බස්නාහිර පලාතටත් වඩා අඩු ජනගහණයක්. ඒ වගේම ඒ රට ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්.

නෝර්වේජියානු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පැරදුනත්, අලුත් ආණ්ඩුවක් පත්වෙන තුරු රජතුමා පරණ ආණ්ඩුවට යන්න දෙන්නේ නෑ. ඒ වගේම රජතුමා ප්‍රමුඛ රාජ්‍ය සභාව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක ගැන විවාද කලත්, කවදාවත් පරාජය කරන සම්ප්‍රදායක් එහේ නෑ. ඉතින් නෝර්වේ වල වැඩිහරියක් තිබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතර ආණ්ඩු. දැන් තියෙන්නෙත් සුළුතර ආණ්ඩුවක්. නෝර්වේ වල කරන දේවල් ලංකාවේ කරන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන.

ප්‍රංශයේ ව්‍යවස්ථාව පරිනාමය වෙච්ච හැටිත් මෙතනට අදාලයි. 1940 ට කලින් ප්‍රංශයේ තිබ්බ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න බැරි තත්වයක් ඇති කරලා තිබුණා. මේ නිසා ඒ කාලේ ප්‍රංශයේ දිගින් දිගටම අස්ථාවර ආණ්ඩු ඇතිවුනා. 1940 දී හිටලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ඒකෙන් ගොඩ ඇවිල්ල ප්‍රංශය 1946 අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කොට පාර්ලිමේන්තුව කලින් විසුරවන්න බැහැයි කියන නීතිය වෙනස් කරලා ආණ්ඩුවකට විරුද්ධව මාස 18 ක් ඇතුලත විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් පවත්වන්න ප්‍රතිපාදන සැලසුවා.

නමුත් ස්ථාවර ආණ්ඩු ඇතිකරන්න ඒකත් ප්‍රමාණවත් නොවුන නිසා 1958 දී සම්මත වූ ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාවෙන් ඒ රටේ පාර්ලිමේන්තුව ඕනම වෙලාවක කලින් විසුරුවලා ඡන්ද පවත්වන්න සම්පූර්ණ අභිමතානුසාරී බලය ප්‍රංශ ජනාධිපතිවරයාට දීල තියෙනවා. අපි ඒ අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕන. පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්නේ නෑ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්නෙ. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහ මැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගෙන්නෙ සර්වජන ඡන්ද අයිතිය තුළිනුයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඔබ, මේ ගැන සිතා බලන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

සුබ අනාගතයක්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

2018 දෙසැම්බර් 02

2018 _________ 25 _____