ඔබලා ආණ්ඩුව පෙරළන්න සූදානම් වෙන්නේ මේ කීවැනි වතාවටද?
අපේ පක්ෂයේ නීති පිළිබඳ මහාචාර්යවරයෙක් තමයි සභාපති ලෙස ඉන්නෙ. එතුමා දන්නවා නීත්‍යනුකූලව කළ යුත්තේ මොනවද කියන එක. අපි ඉන්නෙ ඒ ස්ථාවරයේ.
මන්ත්‍රි විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර මෛත්‍රි ජනපති, මහින්ද අගමැති වන භාරකාර අණ්ඩුවක් ගැන ප්‍රකාශ කළා. ඔබේ ස්ථාවරය මොකක්ද?
එතුමන්ලාගේ ප්‍රකාශවලට මං පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. ඒ දෙන්නා අපට වැදගත් පක්ෂ දෙකක දෙන්නෙක්. කෙනකුට ස්වාධීන අදහස් තිබෙනවා. අපේ පක්ෂය හැටියට අපි ජනමතය විමසලා අවසානයේදී එය පක්ෂ නායකත්වයට දන්වලා ඉතාම සාධාරණ විසඳුමක් ගන්නවා.
භාරකාර ආණ්ඩුවක මෛත්‍රි ජනපති වීම කොහොමද දකින්නේ. ඒකාබද්ධ විපක්ෂය හැටියට මෛත්‍රිපාල සිරිසේන යනු කඩාගෙන ගිය පාවා දුන්නෙක්?
අපේ පක්ෂයේ එතුමා කිසිම දවසක සාමාජිකත්වය දරලා නෑ. අපේ පක්ෂය ආරම්භ කරලා දැනට අවුරුදු දෙකකට කිට්ටුයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ වත්මන් ආණ්ඩුව පෙරළිය යුතු බව. නමුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද යාපා මන්ත්‍රිවරයා සෘජුවම සඳහන් කළා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවන තුරු ආණ්ඩුව බිඳදැමිය නොහැකි බව?
එතුමා කිව්වේ මොකක්ද කියලා මං හරියටම දන්නෙ නැහැ. මං විශ්වාස කරන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ආණ්ඩු පෙරළිය හැකි රාජ්‍යයක එහෙම වෙනත් ආකාරයකින් ආණ්ඩු පෙරළිලා නැහැ.
ඔබ කියන්නේ එවැනි ආකාරයකට ආණ්ඩු පෙරළීම ප්‍රායෝගික නැහැ කියලා?
ළඟදී මාලදිවයිනේ ආණ්ඩුව පෙරළුණා. ඊට පෙර ඒකම පාකිස්තානයේ සිදු වුණා. තව ක්‍රමයකට බංග්ලාදේශයේ සිදු වුණා. තාවකාලිකව පාලක කණ්ඩායමක් මඟින් පවත්වාගෙන ගියා. ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඒකාධිපති හෝ අධිරාජ්‍යවාදී හෝ ඡන්ද නොපවත්වන රටවල තමයි එවැනි වෙනත් ක්‍රමයකට යන්නෙ. අපේ රටේ එහෙම අවශ්‍යතාවක් නෑ.
මෑතකදී ජනපති මෛත්‍රි සමඟ විශේෂ දේශපාලන හමුවීමක් සිදුවුණා. ඒ සාකච්ඡාවල හරය භාරකාර ආණ්ඩුවක්ද?
මට කතා කළ හැක්කේ මං ගැන පමණයි. හමුවූ තැන හෝ හමුවූ පුද්ගලයන් ගැන කිව නොහැකියි. විවිධ හේතු නිසා මම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පළමු වතාවට හමුවුණා. ඉතින් පළමු වතාවට හමුවුණාම බෑනේ එක පාරටම ඔක්කොම කියන්න.
රහසිගත හමුවීමක්ද එතකොට මේ ප්‍රසිද්ධ රහසක් බවට පත් වුණේ?
නෑ. රහසිගත හමුවීමක් නොවේ. එතුමාගේ ආරක්ෂාව ගැන අපි කල්පනා කරන්න ඕනෑ. විශේෂයෙන්ම එතුමාටත් රාජපක්ෂ පවුලටත් තියෙන වාතාවරණයත් එක්ක ඒ හමුවීම ගැන යම් රහසිගත බවක් රැකගත යුතුයි.
ජනපති මෛත්‍රිටත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටත් පැනනැඟී ඇති ආරක්ෂාව සම්බන්ධ ගැටලුව එදින සාකච්ඡාවට ලක් වුණාද?
ඔව්. එතුමාට පමණක් නෙවෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමාටත්, එතුමාගේ පවුලටත් පවතින ආරක්ෂක ගැටලු ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා.
යම් හේතූන් මත ඔබ විවෘතව මේ ප්‍රබල හමුවීම ගැන කතා නොකළත් ජනතාව වෙනුවෙන් පොඩි ඉඟියක් හරි ලබාදීම නේද සාධාරණ?
අපි දෙන්නම දේශපාලනඥයෝ. එහෙම හමුවුණාම දේශපාලනය කතා නොකළා කිව්වොත් සම්පූර්ණ සත්‍ය වෙන්න බෑනේ.
පසුගිය 10දා ඒකාබද්ධ කණ්ඩායමේ මන්ත්‍රිවරු රැස් වුණා. එහිදී සභාග ආණ්ඩුවක් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් විරුද්ධ වූ බව සඳහන් වෙනවා?
මුලින්ම කියන්න ඕනෑ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් නෙමේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රිවරුන්ගෙන් කොටසක් රැස් වුණා. විශේෂයෙන් ජී.එල්. පීරිස් හිටපු ඇමැතිතුමාගේ පෞද්ගලික ආරාධනයක් අනුව ඔහුට අවංකව මහින්ද රාජපක්ෂ මහතා සමඟ අදහස් හුවමාරු කර ගන්න ඕනෙ කියලා. ඒ තුළ අවසානයේදී තීන්දු කළා කිව යුතු කාරණා මොනවද නොකිවයුතු කාරණා මොනවද කියලා.
ඒවගේම එය පැහැදිලි කරගත යුතු පුද්ගලයෝ නම් කරගත්තා.
ජනපති මෛත්‍රි හමුවීමත්, මන්ත්‍රි කණ්ඩායම රැස්වීමත් දෙක ගැනම මුඛවාඩම් ලාගන්න සිදුවෙලා වගේ?
මාධ්‍ය ආවරණයට ආරාධනා නොකළේ ඒ නිසා.
ආණ්ඩුවෙන් ඉවත් වුණ ශ්‍රීල.නි.ප.යේ මන්ත්‍රිවරුන් 16 දෙනාට අදටත් නිසි තැන ලබාදීමට ඔබලා කටයුතු කර නැහැ නේද?
එහෙම දෙයක් නෑ. අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිසි කෙනෙක් නිල සාමාජිකත්වයක්වත් අරගෙන නෑ. එහෙම වෙලාවක ඔවුන්ට වෙනත් සංවිධායක ධුර පවරන්න බෑ. නමුත් අපි ඔවුන්ට දේශපාලනය කිරීමේ ඉඩකඩ සලසා තිබෙනවා.
බැසිල් රාජපක්ෂ කඩිමුඩියේ ලංකාවට ආවේ ඔය කියන භාරකාර හෝ සභාග ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්නද?
වසන් කරන්න බැරි දෙයක් තියෙනවනේ. මං යන්නේ උසාවි අවසරය පිට. අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුවත් මගේ නීතිඥවරුත් එකඟ වෙච්ච කාරණා කිහිපයක් තිබුණා. මගේ වෛද්‍ය ප්‍රතිකාරවලට තමයි රට යන්න අවසර දුන්නෙ. ඒ අනුව මගේ බිරිය, දරුවන් හමුවීම සිදු වුණා. අවුරුදු දෙකහමාරකට පස්සෙ ගියේ. ඒ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ කාර්යය ඉවර වූ පසු මම හිතුවා උසාවියේ මාස තුනක අවසරය තිබුණත් ඒකෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න හිතුවෙ නෑ. දේශපාලන වගකීමක් දරන පක්ෂයක වගකීම කරට අරගෙන තිබෙන වෙලාවක ඉතාම බැරෑරුම් තීන්දුවක් ගන්න තියෙන වෙලාවක ඒ වැඩවලින් මඟහැරීම සුදුසු නැහැ කියලත් මං හිතුවා.
නමුත් බැරෑරුම්ම අවස්ථාවල නේද මීට පෙර ඔබ රටින් පිට ගියෙත්?
එහෙම දෙයක් හිතනවා නම් එය මගේ පාලනයෙන් බැහැරයි. මං බැරෑරුම් ප්‍රශ්නවලට මුහුණදෙන කෙනෙක්. මුහුණ දීලත් තියෙනවා.
‘ජන බලය කොළඹට’ රැලියේ විශාල පිරිසක් සිටි බව පිළිගත්තත් එහි සංවිධාන කටයුතු සම්පූර්ණයෙන් අවුල් වුණ බව ඔබ පිළිගන්නවද?
එහෙම සංවිධාන ශක්තිය අවුල් වුණා කියලා කියන්නෙ ඇයි කියලා මට කියන්න බෑ. ඒ කියන්නෙ මං ඉන්න කාලේ සංවිධානය කළ දේ අකුරටම වැඩ ටික සිදුවුණා.
අන්තිමට සියලු දේ පැත්තකට ගිහින් කිරි පැකට් එකක් සති තුන හතරකට උඩට ආවා. ඒ තුළින්ම පේනවා නේද මේ ආණ්ඩුවට බලපෑමක් ඔබලාට කිරීමට නොහැකි වූ බව?
ඒක බලපෑවේ නෑ. අපේ ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කයට අපි ළඟා වුණා. සමහරු හිතන්න ඇති මෙතැන මිනී දෙක තුනක් මරන්න. එහෙම නැත්නම් මහජන දේපළ විනාශ කරන්න. කිරි පැකට් සිද්ධිය අතුරු සිද්ධියක්. එවැනි සැලැස්මක් තිබුණා නම් ඒක වැරදියි.
දේශපාලනයෙදී කුමන දේ ගැන කතා කළත් ඊළඟ තීරණාත්මකම සාධකය ජනාධිපතිවරණය නේද?
ඔව්. වහාම ජනාධිපතිවරණය පිළිබඳ විශේෂ කාර්ය සාධක කණ්ඩායමක් රැස්කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ලංකාවේ මේ වන විට වැඩිම මහජන නියෝජිතයන් සිටින දේශපාලන පක්ෂය හැටියට අපි ඊට කඩිනමින් කෙසේ වෙතත් ක්‍රමානුකූලව සංවිධානය වෙමින් සිටිනවා.
මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කළා මන්ත්‍රි නාමල් රාජපක්ෂට නොහැකි නම් ඊළඟ අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක් කියලා. ඒ බැසිල් රාජපක්ෂද?
ඒක ගැන පැහැදිලිව දැඩි ලෙස මහින්ද හිටපු ජනාධිපතිතුමා නැවත වරක් ඉල්ලුවා ජනපති අපේක්ෂකයා ගැන කතා කරන්න එපා, එහෙම නම් මට පවරපු කාර්යය ඉවත් කරන්න කියලා. ඒ හින්දා එවැනි යමක් කීම සුදුසු නෑ.
එතකොට ජනාධිපතිවරණය සම්බන්ධ සම්පූර්ණ වගකීම කර මත පැටවී තිබෙන්නෙ මහින්ද රාජපක්ෂ මහතාටද?
මහින්ද රාජපක්ෂ මහතා කෙරේ අපි සම්පූර්ණ විශ්වාසය තියලා තියනවා. එතුමා ජනමතයට ඇහුම්කන් දී අනෙකුත් සියලු දෙනාගෙ මතයට කන් දී සාධාරණ තීන්දුවක් ගනීවි. එතුමා වෙනුවෙන්නෙ එන අපේක්ෂකයෙක් එන්නෙ. එදා මැතිනිගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හා සමාන දෙයක් අදත් සිදුව තිබෙන්නෙ. අශ්වයා එළියට දාලා රේස් එකේ දුවලා දිනන්න උත්සාහ දරනවා වගේ. ජනතාවට ඕනෑ එතුමාව එතැනට ගන්න. නීතියෙන් බාධාවක් තියෙනවද නැද්ද මං දන්නෙ නෑ එතුමාට.
ඔබ මීට පෙර අප සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සෘජුවම පැවසුවා ඔබේ ඇමෙරිකානු පුරවැසිභාවය කිසිසේතම ඉවත් කරගන්නෙ නැති බව.
හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගනීවි කියලා ඔබ කිව්වා. ඔබ එදා ඉඟි කළේ ඊළඟ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලද?
එදා ඒ ප්‍රකාශය කරද්දි තහනම් නියෝගය තිබුණෙ නෑ.
ගෝඨාභය මහතා දැන් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙනද
ඒක එතුමාගේ තනිකර පෞද්ගලික කාර්යයක්. ඇමෙරිකානු නීතිය අනුවත් ඒක කිසිම නිලධාරියෙක් දැනගත යුතු නෑ. එය එතුමා පමණයි දැනගත යුත්තේ.
ඔබ කියනවා ඔබ දේශපාලනයේදී සංවේදියි කියලා. නමුත් දේශපාලනයට වඩා ඔබ ඇමෙරිකානු පුරවැසිභාවයට සංවේදියි නේද?
මම දේශපාලනයට වඩා මගෙ පවුලට ආදරෙයිනෙ
පවුල සහ ඇමෙරිකානු පුරවැසිකම අතර තියෙන සම්බන්ධය මොකක්ද?
මාව යම් කිසි ආකාරයකින් අෑත් කරලා තියෙන්නෙ. කොයි මොහොත ආවත් මං කැමැතියි මගේ දරුවො එක්ක එකතු වෙන්න. ඒ අය මෙහෙ එයිද මම එහෙ යයිද කියන්න දන්නේ නෑ. වැඩි දෙනා ඉන්නෙ එහෙ. මං හිතන්නෙ දේශපාලඥයන්ටත් පෞද්ගලික ජීවිතයක් තිබිය යුතුයි.
මෙපමණ ඇමෙරිකානු පුරවැසිභාවයට ගැති පුද්ගලයෙක් කොහොමද ලංකාවේ මහජන නියෝජිතයෙක් හෝ ක්‍රියාකාරී දේශපාලනඥයෙක් වී ජනතාවට ආදරේ කරන්නේ?
ඇමෙරිකාවට නෙමේ මං ආදරේ මගෙ දරුවන්ටයි. බිරියටයි.
යම් නිශ්චිත අපේක්ෂකයෙක් දැනට කරළියට නොගෙනෙන්නේ ඔහුට එරෙහිව බරපතළ විවේචන චෝදනා ප්‍රසිද්ධ කරළියේ ඇතිවෙයි කියා බයටද?
ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් දේශපාලන ව්‍යාපාර කරන කෙනෙක් හැටියට මට නම් අපේක්ෂකයා ඉදිරිපත් කිරීම ගැන පස්මහ බැලුම් බලලා කරනවා වාගේ කරන දෙයක්. ඒක මහින්ද රාජපක්ෂ මහතාට භාර කර තිබෙනවා.
වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකය බංකොලොත් කියලා ඔබලා මුව හමට තළන ආකාරයට සඳහන් කළත් සමස්ත ආර්ථික බංකොලොත්භාවයට මීට පෙර ගෙනා ආර්ථික ප්‍රතිපත්තියම බලපෑව නේද
නෑ. ඒක වැරදියි. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තියා මේ රටේ සියලු ආර්ථික උපමාන හොඳ තත්ත්වයකට ආවා. එවැනි හොඳ තත්ත්වයන් යටතේ තමයි මේ ආණ්ඩුව භාරගත්තේ. අපේ ආණ්ඩුවේ ඔය කියන මොන වැරදි අඩුපාඩු තිබුණත් සාර්ථක වූ දෙක තුනක් තිබෙනවා. පළමුව මේ රටේ සාමය ගොඩනැඟීම සඳහා තිබූ ත්‍රස්තවාදී ක්‍රියාව නැවැත්වූවා. බිය සැක තොර දේශයක් ලබාදුන්නා.
ඒ වගේම ආර්ථිකය හැසිරවීම. තුන්වන කරුණ තමයි යටිතල පහසුකම් සංවර්ධනය. කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය තිබූ රටක අපි ගමටත්, කොළඹටත් කිරි තත්ත්වය ලබා දුන්නා. මේ කාරණා තුනට අපිට සම්පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි කියා මා විශ්වාස කරනවා.
ඒ ගෞරවය දෙන්න කවුරු හරි මැළි වෙනවා නම් සම්පූර්ණ කුහකයෙක් වෙන්න ඕන. මේ ආණ්ඩුවේ යම් යම් දේවල් හොඳ නම් මං නිර්ලෝභීව ඒ ගෞරවය දෙනවා.
ඔබ කියූ ආකාරයට වත්මන් ආණ්ඩුවට නිර්ලෝභීව දිය හැකි ගෞරවනීය යමක් ඇත්තෙම නැද්ද?
තියෙනවා. මං බය නැතිව කියනවා. විශේෂයෙන්ම මුල් අවුරුදු දෙක තුළ විදේශ සම්පත් පිළිබඳ හොඳ තත්ත්වයක් තිබුණා. ලෝකෙ හුඟක් රටවල් මේ ආණ්ඩුවට උදවු කරන්න නිර්ලෝභීව ඉදිරියට ආවා. ඒකෙන් ප්‍රයෝජන ගත්තද නැද්ද කියල මා තර්ක කරන්නෙ නෑ. ඒකෙ ගෞරවය තියනවා. ඒ වගේම යම් යම් නීතිරීතිවලදී විශේෂයෙන්ම තොරතුරු දැන ගැනීමේ පනත වගේ ඒව වෙනුවෙන් මේ ආණ්ඩුවට ගෞරවය දෙන්න ඕනෑ. මොකද ඒ පනත මට වඩා ප්‍රයෝජනවත් වුණේ මගෙ නඩු හබවලට.
ආණ්ඩුව මේ තරම් ජනතාව පීඩාවට පත් කළත් විපක්ෂයක් ලෙස එවෙලෙට සටන් කරනවා මිසක අඛණ්ඩ සටනක්, අරගලයක් නැත්තෙ ඇයි?
අපේ පක්ෂය බොහොම සැලසුම් සහගතව කරගෙන යන්නෙ. ප්‍රාදේශීය සභාවල බලය ගත්තා, තව ඉස්සරහට යන්න ඕනෑ ගමන කොහොමද කියන කාරණා ක්‍රමානුකූලව අපේ ඔළුවෙ තියනවා. හතුරාට දියයුතු නෑ. දැනගත යුතු සහ දන්නා අය අපේ ගමන කොයි ආකාරයෙන්ද කියලා හඳුනා ගන්නවා.
කොතරම් ක්‍රමානුකූල වුවත් රටට ඉතා වටිනා හම්බන්තොට වරාය වසර 99කට පැවරීම, සිංගප්පූරු ගිවිසුම වැනි රටට අහිතකර ගිවිසුම්වලට එළැඹෙනකොට එවැනි දෙයක් හෝ වළක්වා ගැනීමට නොහැකි නම් මොකක්ද ඔබලාගේ මේ ගමනෙ තේරුම?
ඒකට අපි අවධානය යොමු කරලා ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ තියෙන දේශද්‍රෝහීි ගතිය මේවායින් නවත්වන්න බෑ. අපේ ගමන මේවායින් නවත්වන්නත් බෑ. මේ වැරැද්දෙ මූලිකම දේ ජනවාරි 08 වැනිදා සිදුවුණේ. සමහර වැරැදි නිවැරැදි කරගන්න පුළුවන්. සමහර වැරැදි කවදාවත් නිවැරැදි කරගන්න බෑ. ජීවිතේ හැම කෙනෙක්ගෙම. ඒ වගේ සිද්ධියක් තමයි ජනවාරි 08 වැනිදා වුණෙත්.
දැන් මොන කතාව කිව්වත් පහුගිය වසර 10ක් තුළ ඵලක් නොවන ව්‍යාපෘතිවලට අතිවිශාල ණයක් ගැනීම නිසා නේද රට ණය උගුලක සිරවුණේ?
මං කියන්නෙ ඔය සියල්ලක් ගැනම පැහැදිලිව අපි අවංකව අවුරුදු ගණනක් තිස්සේ කිසිවකුට කළ නොහැකි දේවල් කළා.
අපි ගත්ත තීන්දු තීරණ ගැන නිර්භයව කියනවා. අපි ආර්ථිකය දියුණු කිරීම, යටිතල සංවර්ධනය ඒ ආයෝජන කිසිම කෙනෙක්ට කරන්න පුළුවන්ද කියලා. ඒවා ගැන මාධ්‍යත් තම යුතුකම ඉටු කරන්න ඕන. අද ලංකාවේ සිතියම අඳිනකොට ශ්‍රී ලංකා කියලා, ඊළඟට දාන්නෙ හම්බන්තොට වරාය කියලා. බලන්න හුඟක් සඟරාවල. ඒ ඇයි?
අද ඇමෙරිකාවේ උප ජනාධිපතිත් හම්බන්තොට වරාය ගැන කතා කරන්නෙ. මෙච්චර ලෝක යුද තත්ත්වයක් ගැන කතා කරන කොට මේ ගැන කතා කරනවා. ඒ තරම් ඒ වරාය වැදගත්ද කියන එක මේ පෙන්නුම් කරන්නෙ. මේක නාවික ක්ෂේත්‍රය විතරක් නෙමේ, හැම ක්ෂේත්‍රයකටම වැදගත් ස්ථානය බවට පත්වෙලා. එවැනි ආයෝජනයක් කරපු එකක් ගැන ගෞරවයක් තියන්නවත් බැරි කුහක පිරිසක් මේ ඉන්නෙ. වැඩේ තියෙන්නෙ ඒක විකුණලා. ඒකෙන් සල්ලි අරගෙන ඒ සල්ලි ටිකෙන් ණය නොගෙවා තාවකාලිකව භාණ්ඩාගාරයෙ තැන්පත් කරලා අද ක්‍රමයෙන් ඒවා එළියට අරගෙන එදිනෙදා පාවිච්චියට ගන්නවා. දැන් ණය ගෙවන්නෙ කොළඹ වරායෙන්.
මීට පෙර පවරා දුන් ඇතැම් ආයතන නැවත බලයට පත් ආණ්ඩු විසින් පවරාගෙන තිබෙනවා. යම්හෙයකින් රාජපක්ෂවරු නැවත බලයට ආවොත් ඒ පැවරූ සම්පත් ලබාගත හැකි යැයි සහතිකයක් දිය හැකිද?
ජනතාව අපට දෙන බලය අනුව තමයි ඒක තීරණය වන්නෙ.
ඩොලරයේ අගය ඉහළ යෑම ගැන ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කරන්නෙ මෙය ලංකාවට පමණක් බලපෑ කරුණක් නොවන බව?
පාලකයෙක් මේවා ජනතාව මුළා කරන්න කියන කතා නම් අපට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කට්ටියම ඒකට මුළාවෙලා නම් ඒක මහා භයානක තත්ත්වයක්. ප්‍රශ්නය දන්නෙ නැත්නම් අර ෙදාස්තර මහත්තයා ලෙඩේ අඳුනාගෙන බෙහෙත් කරනවා නම් හරි. හැබැයි ෙදාස්තර ලෙඩේ තත්ත්වය නොදැන, ප්‍රශ්නයක් නෑ හෙට අනිද්දට හොඳ වෙයි කියලා ලෙඩාට කියන ෙදාස්තර මහත්තුරුත් ඉන්නවා. මේකෙ ලෙඩේ ෙදාස්තර මහත්තයත් අඳුනාගෙන නැත්නම්, ෙදාස්තරත් රැවටිලා නම් දෙයියන්ගෙම පිහිටයි මේ රටට.
මාස්පතා තෙල් මිල ඉහළ යෑමට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම නේද ඇත්තටම බලපාලා තියෙන්නෙ?
ඒක හැම රටකටම වෙනවා. අපේ කාලේ ඊට වැඩිය ඒක බලපෑවා. මෙතැන වෙලා තියෙන්නෙ ඩබල් ෂොක් එකක්නේ. මේ ආණ්ඩුවේ බැඳුම්කර වංචාව, මූල්‍ය කළමනාකරණය, දළ දේශීය නිෂ්පාදනය පහත වැටීම, ආදායම් මාර්ග වැසීයෑම ඔය සියලු දේවල්වලින් අගාධයට යන කොට ඒ අතර තෙලුත් වැඩි වුණාම මහජනතාවට ඩබල් ෂොක් එකක්.
අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා ලෝක වෙළෙඳපොළේ තෙල් අර්බුදයක් පවතින බව. ඔහු නැවතත් කියනවා තෙල් මිල සූත්‍රය ඔහු ළඟවත් නොමැති බව. අර ලෙඩෙයි, ෙදාස්තරයි දෙකම පැටලී ඇති බවට ඔබ උදාහරණ ගෙනාවේ මේකටද?
මිල සූත්‍රය අනුව මේ අය මිල නියම කරන විදිහ මං දන්නෙ නෑ. නමුත් තෙල් මිලට බලපාන්නෙ තෙල් බැරලයක ජාත්‍යන්තර මිලයි. අනිත් පැත්තට ඒක ගෙවන්න ගන්න රුපියල ඩොලරයට සමානුපාතිකයි.
මේ දෙකම වැඩි වෙද්දි දෙපැත්තකින් දෙගුණයක වැඩිවීමක් වෙනවා. ඕක දන්නෙ නැත්නම් අගමැතිකම තියා මුදල් ඇමැතිකමවත් කරන්න බෑ. එතැනදි අපේ කාලෙදි අපි ඒ වෙනුවට වියදම වැඩිවෙද්දි ඒක දරාගන්න පුළුවන් වෙන්න ජනතාවගේ ආදායම වැඩි කළා. ඊළඟට වියදම් අඩු කළා. තව පැත්තකින් ඩොලරය වැඩි නොවී තියාගන්න උත්සාහ කළා.
දැන් ජනතාවගේ ආදායමත් අඩුවෙලා. තේ, රබර්, ගම්මිරිස් ටිකට මොකද වුණේ?
මේ දේශීයව ගත් තීන්දුවලින් මිස ජාත්‍යන්තරව ගත් තීන්දු නිසා නොවේ.
ගම්මිරිස් මිල අඩු වුණේ මොකද කියලා රහස් නෑ. ඒක ආරක්ෂා කරන්නට පත් කළ පුද්ගලයා විසින් තමුන්ගෙ පෞද්ගලික ලාභෙකට යෙදෙව්වා කියලා තමයි ප්‍රසිද්ධ වුණේ?
නමුත් රාජපක්ෂ පාලන කාලය තුළ තෙල් රුපියල් 100ට දෙන්න කියලා ශේර්ෂ්ඨාධිකරණය තීන්දු කළත් ඔබලා එය ක්‍රියාත්මක කළේ නෑ?
ඒ වගකීම අපි ගන්නවා. රජයක් හැටියට අපි කල්පනා කළා එදා ඊට වැඩි දුරක්.
වත්මන් ආණ්ඩුව “හුස්ම ගත් අවුරුදු තුනක්” හැටියට හඳුන්වනවා. ඔබලාගේ පාලනය තුළ ජනතාව හුස්මගෙන තිබෙන්නෙ අමාරුවෙන් කියලයි වක්‍ර අදහස?
හුස්ම විතරක් නෙවේ, ජනතාවගේ ලේ ටිකත් ගත්තා වගේ පේන්නෙ මේ පාලනයෙන්.
ඔබලාගේ පාලනය තුළ මාධ්‍ය මර්දනය තිබීමත් වත්මන් ආණ්ඩුව තුළ එය ක්‍රමයෙන් අඩු වී ඇති බවත් ඔබ පිළිගන්නවාද?
ඒක මාධ්‍යයෙන්මයි අහලා බැලිය යුත්තෙ. ඔබලාට නිදහසක් දැනෙනවාද?
දේශපාලනය හෝ ආර්ථිකය හෝ සංස්කෘතිය ගැන ඔබ මොන ප්‍රකාශය කළත් මේ දේශපාලනය ගෙන යන්නෙ රාජපක්ෂ-රනිල් යම් එකඟතාවකින් නේද?
ඒක පදනම් විරහිතයි. අපේ දේශපාලනය රනිල් එක්ක හෝ මෛත්‍රි එක්ක හෝ වෙනත් කෙනකු එක්ක හෝ නෙමේ. මගේ දේශපාලනය නම් තනිකරම රට ගැන හිතලා ගන්න තීන්දු තීරණ පමණයි.
ඔබ බොහෝ අවස්ථාවල වියුක්ත පුද්ගලයකු සේ විග්‍රහ දැක්වීමට උත්සාහ ගන්නවා. රාජපක්ෂ කණ්ඩායමෙන් ඇයි බැසිල් රාජපක්ෂ මේ විදිහට මමත්වයක් දරන්න හදන්නෙ?
මටත් අයිතියක් තියෙනවා. මම තනියම වගකීමක් ගත්තා නම් මං ගැනත් කියන්න ඕනෑ. මම කියන්නෙ මං ගැන.
ඔබට ප්‍රබල චෝදනාවක් තිබෙනවා ඔබ බන්ධනාගාරගත කරන හැම මොහොතකම රෝහල්ගතවීම ගැන?
ඒකත් වෛද්‍යවරු හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගත්ත තීන්දුවක්.
ඔබ දේශපාලනයේ ප්‍රබලයෙක්. සිරගත කරන හැම මොහොතකම බැසිල් රාජපක්ෂ ලෙඩ වීම අනෙක් අයත් ආදර්ශෙට ගන්නවා නේද?
ඒකෙ වරදක් නෑ. ඒක අසාධාරණ චෝදනාවක්. හැම මනුස්සයම තමන්ගෙ යහපත කරගෙන මට චෝදනා කිරීම වැරදියි. ඒක මට තිබෙන අයිතිවාසිකමක්.
අවසන් වතාවට ඔබට ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරන්න යමක් තිබෙනවාද?
විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ මහින්ද හිටපු ජනාධිපතිතුමා මේ වනතෙක් ගත්තෙ රට ගැන හිතලා ගත් තීන්දු. එහෙම නැතිව අපට තිබෙන වෙන තෙරපුමක් තුළින් හෝ බලපෑමක් තුළින් තීන්දු ගෙන නෑ. ජනතාව ඒ ගැන විශ්වාසය තබන්න. කිසිම විදිහකින් රාජපක්ෂලා අතින් රට ජාතිය පාවාදීමක් සිදුවන්නේ නෑ.
සංවාදය – අනුරාධා හේරත්